අලුත් පාඩමක්

 


උදේ නෙල්කා පන්තියට දුව ආවේ මහා විනාසයක් සිදු වූ ගණනටය.ඇය වහා ම තම මිතුරියගේ දෑත බදා ගත්තාය.

"අනේ මං ඉවරයි සඳූ.....උදේ බස්ටෑන්ඩ් එක ගාවට කවිඳු අයියා ඇවිත් හිටියා....අපේ මිස් බස් එකෙන් ඇවිත් බැස්සා ඒ වෙලාවෙ"

"කවුද නිමාලි මිස් ද?අපොයි එයා දැක්කද ඔයාව?"සඳුනි නෙල්කාගේ සීතල අත් දෙක අල්ලාගෙන ම ඇසුවාය.

"ඔව් ඔව්.ඒ වෙලාවෙ අහක බලන් ගියා මිස්.මට ආපහු ගෙදර දුවන්න හිතුණා. ඒත් අම්මට කියන්න බොරුවක් මතක් වුනෙත් නෑ.අනික මිස් ගාව අම්මලගෙ නම්බර්ස් තියෙනවා.....මොකද මං කරන්නෙ සඳූ.....මිස් මැඩම්ට කිව්වොත් ඔක්කොම ඉවරයි"නෙල්කා දිගට ම කියාගෙන ගියාය.

"ඔයා තාම කවිඳු අය්යාට කැමතියි කියල නැහැනෙ.අපි ශේප් එකේ මිස් ව මීට් වෙලා කියමු.අද උදේම නිමාලි මිස්ගෙ නේද පීරියඩ් එකත්."

දෙදෙනාගේ කතාව නතර කරමින් නිමාලි මිස් පන්තියට ආවාය.

කිසි වෙනසක් නොපෙන්වා එදාට නියමිත පාඩම සුපුරුදු පරිදි කියා දුන්නාය.වෙනදා ඉතා හොඳින් තේරුම් යන පාඩමෙන් එක වචනයක් වත් නෙල්කාගේත් සඳුනිගේත් කන් තුළින් ඇතුලට නම් ගියේ නැත.

පාඩම ඉවර කර නිමාලි ඔරලෝසුව දෙස බැලුවාය.තව විනාඩි දහයක් ඇත.අලුත් පාඩම පටන් ගන්නට කල් මදිය.

ඇය පන්තිය සිසාරා බැලුවාය.

"ඊළඟ පාඩම පටන් ගන්න වෙලාව මදි. මං ඔයාලට කතාවක් කියන්නම්."

ඈලි මෑලි ගතියෙන් තිබූ මුහුණු පවා උනන්දුවෙන් හරි බරි ගැහුණහ. නෙල්කාට පොළව පළාගෙන හැංගෙන්නට සිතුණේය.මේ කතාව කුමක් දැයි ඇයට සිතා ගත හැක.

"ඉස්කෝලෙ යන කාලෙ මං ඉගෙනීමට හරි දුර්වලයි.ඒක බැරිකමටත් වඩා ඕන නැතිකම.අපේ ගෙදර තිබුනෙ කර්මාන්තපුරයක් ළඟ.ඒ පැත්තෙ හැම ගෑණු පිරිමි ළමයෙක් ම ඉස්කෝලෙන් අයින් වුණ ගමන් කර්මාන්තපුරේ ජොබ් එකකට යනවා. මගේ අනාගතේත් ඒක බව මං දැනං හිටියා.ඉගෙන ගත්තත් නැතත් ජොබ් එකක් ලැබෙන නිසා ඉගෙනීමට මගෙ උනන්දුවක් තිබුනෙ නෑ.

මං ඔයාලගෙ වයස වගේ වෙද්දි අපිට ගණං උගන්වන්න අලුත් මිස් කෙනෙක් ආවා.මං විතරක් නෙවේ පන්තියෙ වැඩි දෙනෙක් ගෙ එපා ම කරපු විෂය ගණිතය.ඒත් ඒ මිස්ට අපි කැමති වුණා. එයා හරි ලස්සන සාරි ඇන්දා.කොයි වෙලාවෙත් හිනා වුණ ගමන්. අපිට හම්බ වුණ අනික් ගණං ටීචර්ස්ලා වගේ කළු ලෑල්ල එක්ක ගණං හැදුවෙ නෑ. ගණිතයට දුර්වල අය වෙනුවෙන් මිස් හවස නතර වෙලාත් ඉගැන්නුවා.අපිට ගණං එපා වෙලා වගේ පෙනෙද්දි මිස් කතා කියනවා.මං දැං ඔයාලට කියනව වගේ. ඒවට තමා අපි වැඩිපුර  ආස කළේ.වැඩිය ම කියන්නෙ මිස්ලා විද්‍යා පීඨ ඉන්න කාලෙ කරපු ජොලි දේවල්. ඒව අහද්දි මටත් විද්‍යාපීඨ යන්න ආසාවක් ඇති වුණා...

දවසක්  ඉස්කෝලෙ යද්දි මිස්ගෙ පස්සෙන් ආව කොල්ලෙක් ගැන කිව්වා. එයා කොච්චර හැන්ඩ්සම් වුණත් ඉගෙනීමට බාධා වෙයි කියල කැමති නොවුන හැටි, මිස් ගැන බලාපොරොත්තු තියන් හිටි, ගෙවල් වලිනුත් කැමති වුන මස්සිනා කෙනෙක් රස්සාවක් නොකරන වයිෆ් කෙනෙක් හොයන්නෙ කිව්ව ම එයාට බෑ කිව්ව හැටි අපි එක්ක කිව්වා.....ඒ වෙද්දි මගෙ පස්සෙනුත් පිරිමි ළමයි දෙතුන්දෙනෙක් කැරකි කැරකි හිටියෙ...එතනින් එක් කෙනෙකුට මං කැමැත්තෙනුත් හිටියා. එයා කර්මාන්තපුරේ ජොබ් එකක් කළා. මගෙ යාළුවන්ගෙ පිරිමි ළමයි සම වයස් හරි අපිට වඩා පොඩ්ඩක් වැඩිමල් අය්යලා. එහෙම වෙද්දි ජොබ් එකක් කරන සල්ලි අතේ ගැවසෙන කෙනෙක් කියන්නෙ අපිට වීරයෙක් වගේ. කර්මාන්තපුරේ ජොබ් එකක් තියෙන කෙනෙක් අඳුනගෙන හිටියම ලේසියෙන් ම හොඳ ෆැක්ටරියක ජොබ් එක ගන්න පුළුවන් කියල විශ්වාසයක් ඒ කාලෙ තිබුණා....ඒත් මගෙ කර්මාන්තපුර ජොබ් හීනෙ විද්‍යා පීඨයක් දක්වා වෙනස් වෙද්දි මට තේරුණා මෙයාට කැමති වුනොත් ඒ හීනෙ හැබෑ නොවෙන බව.ඒ නිසා මං එයා ව හිමින් ම මග ඇරියෙ මගෙ යාළුවො මං මහ මෝඩියක් කියද්දි......

ඉස්කෝලෙ ගුරුවරු විතරක් නෙවේ ගෙදර අයත් පුදුම කරමින් මං ඕ ලෙවල් පාස් වුණා.ඒ ලෙවල් කාලෙ පන්ති යද්දිත් එක එක විදියෙ පිරිමි ළමයි කීප දෙනෙක් මගෙ පස්සෙ ආවත් මගෙ හිතේ කෙටූ අකුරක් වගේ තිබුණා ගණං මිස් කිව්ව දේ.ඒ ලෙවල් රිසල්ට්ස් එන කල් කොල්ලෙක් හොයා ගන්න එපා කිව්වා.මිස්ගෙ බැච් එකේ ළමයි කීප දෙනෙක්ම හිටියලු ඉස්කෝලෙ යද්දි යාළු වුණ කොල්ලාගෙ රස්සාව ඒ වෙද්දී ගැළපෙන්නෙ නෑ.දැන් කොච්චර හොඳ අය හම්බ වුනත් හොඳ යෝජනා ආවත් අරයා අත් අරින්න හිතක් නෑ. එහෙම අත් අරින්න ගිහින් පිහි ඇණුමකුත් වෙන්න ගියා ලු.

ඊළඟට මෙඩිසින් තේරුණ බෝයිට තමන්ගෙ වියදමින් කැම්පස් යන්න ඕන ඔක්කොම දේවලුත් අරන් දීල ගියාට පස්සෙත් මාසික ව වියදම් දුන්න යාළුවෙකුගෙ බෝයි කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙදි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එක්ක ම යාළු වෙලා. ඉතිං......

කතාව දික් ගස්සන්නට ඉඩ නොදී සීනුව නාද විය.

"ඔයාලත් සිහි නුවණින් කල්පනා කරල බලන්න. හුඟක් ඉහළ හීනයක් ඔයාලටත් ඇති නෙ."

නිමාලි මිස් නෙල්කා දෙස අඩ බැල්මක් හෙලා පන්තියෙන් පිට වූවාය.

ඒ මොහොතේ සිට නෙල්කා සිටියේ බර කල්පනාවකය.යෙහෙළියන් ඇසූ දේකට උත්තරයක් දෙන්නට තරම් වත් ඇයට කල්පනාවක් නැත.

"මොකද බං.උඹ ගල් ගිල්ල ද?" පාසල් ඇරුණ පසු සඳුනි ඇගේ උරහිසින් අල්ලා හෙල්ලුවාය.

නෙල්කා සිහිනයෙන් ඇහැරී මෙන් සඳුනි දෙස බැලුවාය.

"අපේ ගණන් මිසුත් මගේ හීනෙ වෙනස් කළා සඳූ....අපි අද උඩහ හෝල්ට් එකෙන් නගිමු ද"

සඳුනි නළල රැලි කර බැලුවාය."උඹත් කවිඳු අයියා මගාරින්න වගේ.... නිමාලි මිස් ගෙ යාලුවො වගේ උඹ නම් මෝඩියක් කියන්නෙ නෑ මං"

දෙදෙනා සිනාසෙමින් පන්තියෙන් එලියට ආහ.

Comments