උපාසක

සඳුදා උදේ ම කීප වරක් නාද වූ කාර්‍යාලයේ දුරකථනයට පිළිතුරු දුන්නේ කාර්‍යාල කාර්‍ය සහායක පාලිතය.

"ආ...ඇත්තද? ගොඩක් අමාරු ද?එහෙම ද?හරි මං කියන්නම්"

රිසීවරය තබා ආපසු හැරෙද්දී කුතුහලය පිරුණ ඇස් යුගල ගණනාවක් ඔහු දෙස බලා සිටියේය.
"ස්වර්ණා මිස් සති අන්තෙ අටමස්ථානෙ වන්දනාවෙ ගිහින් එද්දි බස් එකෙන් වැටිල දණිස් ඇටේ පුපුරලලු.සති දෙකක් වත් රෙස්ට් කරන්න කිව්වලු දොස්තර"
පාලිත ඇමතුමේ විස්තර ප්‍රධාන ලිපිකාරිනී මාලතීට කීවේ අනෙක් අයටත් ඇසෙන්නටය.
"අනේ ඇත්තට.ස්වර්ණා මිස් මේ තරම් පින් අතේ වැඩ කරලත් ඔහොම දේවල්ම‍යි වෙන්නෙ.බලන්න දැන් කීවෙනි පාරද?˜ කෙනෙක් කීවේය.
"ඒක නම් ඇත්ත.වෙන අයගෙ යන්තම් සීරීමක් උළුක්කුවක් වෙන සිද්දියක් වුණත් ස්වර්ණා මිස්ට ඔපරේෂන් කරන්න තරම් දේවල් වෙන්නෙ"තවත් තැනකින් ඊට පෝර සැපයුනේය.
"මතකද ගිය අවුරුද්දෙ පාර අයිනෙන් ඇවිදගෙන යද්දි ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වාහනයක් ඇඟට කැපිල සති ගානක් ඉස්පිරිතාලෙ හිටිය"
"අම්මෝ ඔහොම රට පුරා පන්සල් වලට ආධාර දිදී, දාන මාන දෙන මනුස්සයෙක් ටත් මේ වගේ දේවල් වෙනව නම් අපි වගේ අයට මොනවා වෙන්න පුළුවන් ද?˜
"සමහර විට මිස්ට මාරක අපල ඇති.පින් කරන නිසා ඒවා සැර අඩු වෙලා ඔහොම පළ දෙනව ඇති"තවත් දාර්ශනික මතයක් කියවුනේය.
"අපි බලන්න යමු නේද?අපිවත් පිනට දහමට ඇදල ගන්න මනුස්සයා ˜
Shanika Tennakoon
හිස පහත් කරගෙන ලියුමක් කියවමින් සිටි අංශයේ ප්‍රධානියා සිරිමල් සෙනෙවිරත්න හිස එසෙව්වේ තමන්ගේ කාමරය ඉදිරියේ සෙවණැල්ලක් එහා මෙහා වෙනු දැකීමෙනි.ජීවිතයේ සැඳෑ සමය ගත කරන විඩාපත් පෙනුමැති කෙනෙක් දොරකඩ සිටියි.
"ඇයි තාත්තෙ ඔතන?˜
"සර් මේ මහත්තයාගෙ ඉඩමක ප්‍රශ්නයක්.සර්ව ම හම්බ වෙන්න ඕන කියනවා"
ඔහුට පිටුපසින් සිටි පාලිත කීවේය.
"ආ එන්නකො බලන්න.වාඩි වෙන්න. මොකක්ද කෙරෙන්න ඕන"
නිලධාරීන් කොතරම් කීවත් පිළි නොගන්නා සමහරු ප්‍රශ්න තමන් වෙත යොමු කරන්නට එන බව අත්දැකීමෙන් ඔහු දනියි.
"මහත්තයෝ මගෙ ඉඩම් කෑල්ලක් තියෙනවා ඉස්කෝලෙ පාරෙ පිරිකර කඩේ ගාව. මං කසාද බැන්දෙ නෑ.ඒ නිසා බැරි කාලේ මහළු නිවාසෙකට යන්න කතා කරගෙනයි ඉන්නෙ.ඊට කලින් මගෙ ඉඩම් කෑල්ල ඒ නිවාසෙට ලියා දෙන්න ඕන මට.....ඒකට නීතියෙන් ප්‍රශ්නයක් තියෙනවා කියල මට හැමදාම එක එක ලියුම් අරන් එන්න කියනවා.අදත් ආවෙ ග්‍රාම සේවක මහත්තයාගෙ ලියුමක් අරන්. අනේ මට මේක පිළිවෙළක් කරල දෙන්න මහත්තයෝ....."
සිරිමල් මේසය මත සීනුව නාද කළේය.
පාලිත දුව ආවේය.
"මේ මහත්තයා ගෙ ෆයිල් එක කරන්නෙ කවුද?"
"ස්වර්ණා මිස් සර්"
"ආ අද නෑ නේද.හරි ෆයිල් එක අරන් එන්න ගිහින්"
පාලිත පිට ව ගියේය.
විනාඩි කීපයක් ගත විය.සිරිමල්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේය.
තිරය දෙස බැලූ ඔහු නළල රැළි කර ගත්තේය.ප්‍රධාන ලිපිකාරිනිය මාලතීගෙනි.
ඔහු ඇස් පමණක් ඔසවා බැලුවේය. වීදුරුවෙන් එපිට සිට ඇය කෝල් කරන්නේ ඇයි? මේ කතාව පෙනෙනවාට වඩා අනතුරක් වත් ද@ඔහු ඇමතුමට උත්තර දුන්නේය.
"ඇයි මිස්?"
"සර්ඔය කෙනාව පොඩ්ඩකට පිටත් කරනවද.?"
ඔහු සිතුවා හරි වගේය.
"ම්ම්...තාත්තා උදේට කාලා ද?ආ...මේක අරන් ගිහින් කැන්ටිමෙන් මොනව හරි කාලා බීලා එන්නකො තව පැය බාගෙකින් විතර.මං මේකට කරන්න පුළුවන් මොකක්ද බලන්නම්"
ඔහු සාක්කුවෙන් ගත් මුදලක් මිට මොලවා වයසක පුද්ගලයා පිටත් කළේය.
ඔහු පිට ව ගිය සැනින් මාලතී කාමරයට ඇතුල් වූයේ පාලිත ද සමගිනි.
"මොකද මාලතී මිස් අවුල?"දෙදෙනාට ම වාඩි වෙන්නට සන් කරමින් ඔහු ඇසුවේය.
"ඔන්න කියන්න පාලිත"
දෙදෙනා ම පාලිත දෙස බැලුවෝය.
පාලිත ඉදිරියට නැඹුරු වූයේය.
"සර්ඔය ඉඩම ගැන මම දන්නවා.ඕක අර ලොකු පිරිකර කඩේට අල්ලපු ඉඩම. කඩේ ලොකු කරද්දි ඔය කෑල්ලත් අල්ලගන්න පුළුවන් නම් එයාලට හරි වාසි.මුලින් කුණු කොල්ලෙට ඔය මනුස්සයා ව රවට්ටගන්න ගියා.හරි ගියෙ නෑ.දැන් ස්වර්ණා මිස් ව අල්ලගෙන ඉන්නෙ"
"මොකක්?"
"ඔව් සර්, ස්වර්ණා මිස් පිංකම් කරන්න පිරිකර,කරඬු,බුදු පිළිම ඔක්කොම ගන්නෙ ඒ කඩෙන්.ස්වර්ණා මිස් පොරොන්දු වෙලා ලු ඉන්නෙ කොහොම හරි ඉඩම අරන් දෙන්න. කඩේ වැඩ කරනවා මගෙ නෑදෑ ලමයෙක්.එයා කිව්වෙ සෑහෙන අඩු ගානකට ලු බඩු දෙන්නෙ මිස්ට...... ස්වර්ණා මිස් මේ මනුස්සයා එන හැම දවසෙ ම මොකක් හරි බොරුවක් කියල හරවල යවනවා. අදවත් සර්ට ම මේක කියා ගන්න ලැබුණ එක ලොකු දෙයක්."
සිරිමල් හුස්මක් උඩට ගත්තේය."කෝ දැන් ෆයිල් එක?"
මාලතී එය ඔහුට දුන්නාය.
"මේකෙ කිසි වරදක් නෑ.ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික තියෙනවා.මාස ගානකට කලින් ඉවර කරල දාන්න තිබුණානෙ."ඔහු එය පරීක්ෂා කර මැඩ ගත් කෝපයෙන් කීවේය.
"මමත් දැන් පාලිත ගෙනත් දුන්න ම බැලුව සර්.අඩුවක් නෑ"මාලතී ද කීවාය.
සිරිමල් එයට අනුමැතිය දෙන බවට සටහනක් තබා අත්සන් තැබුවේය.
"අර මනුස්සයා ව හොයන් එන්න පාලිත.කැන්ටිම පැත්තෙ ඇති."
පාලිත ඉතා සතුටින් නික්ම ගියේය.
"මාලතී මිස්" ඔහුට පිටුපසින් නැගිට ගත් මාලතී නැවත හැරී බැලුවාය.
"ස්වර්ණා මිස්ගෙ මහා පින්කම් වලට ඔයාලත් සම්මාදම් දෙනව නේද?මේ සැරෙත් එයාව බලන්න යන්න කලෙක්ෂන් එකක් දැම්මද?"ප්‍රධානියා අහන්නේ සරදම් සහගතව ය.
"කාට බොරු කළත් සොබා දහමෙන් හරි විදියට නඩු අහනවා සර්.එයා කර ගත්තුවා එයාට.අපි කර ගත්තුවා අපිට"
මාලතී තමන්ට ම මෙන් කියාගෙන කාමරයෙන් පිට වුණේය.
Shanika Tennakoon

Comments