කිරුල මුතු ලිහී


රෑ එළි වනතුරු සැමියාට උවටැන් කළ නාලිකා සාලයේ ඉඳ සිටියේ නිදි කිරමිනි. ගේට්ටුව අරින හඬක් ඇසුනෙන් ඇගේ නින්ද කැඩී ගියේය.

"ගිය වැඩේ මොකද පුතේ?"

ගෙතුළට එන සැමියාගේ නංගිගේ පුතා රජීවගෙන් ඇය ඇසුවාය.

"හ්ම්....වැඩ කරපු ඩ්‍රාමා දෙකක සල්ලි හම්බ වුණේ නෑ ලු.හම්බ වුණා ම මොකක් හරි කරන්න බලමු කිව්වෙ"ඔහු සුසුමක් හෙළා කීවේය.

" මාමා නේද ඔය මනුස්සයාට රඟපාන්න එන්න උදව් කළේත්..."

"මාමා කී දෙනෙකුට ෆීල්ඩ් එකට එන්න උදව් කළාද.ඒ මනුස්සයාට අසනීපයක් වුණා ම කාටත් ඒවා අමතකයි."නාලිකා ද දිගු සුසුමක් හෙළුවාය.

"මං අර ෆිල්ම් ප්‍රොඩියුසර්ටත් කෝල් කළා.ෆිල්ම් දෙකකට එක සැරේ සල්ලි දාලා හිර වෙලා කියන්නෙ.එයාගෙ බර්ත්ඩේ පාටි එක ළඟදි ලොකු හොටෙල් එකක අරන් තිබුණෙ.ඒවට සල්ලි කොහෙන්ද දන්නෙ නෑ" රජීව කියාගෙන යන්නේ නොසැඟවූ කේන්තියෙනි.

"ඔය මනුස්සයා මුලින් හදපු ෆිල්ම් වල මාමා නොමිලේ රඟපෑවෙ.අලුත් එකෙක්ට ගොඩ එන්න අත දෙන්න ඕන කිය කිය.ඔය හොඳ හිත ම තමා එයාට නරකට හිටියෙ."

නාලිකා තමන්ට ම මෙන් කියා ගත්තාය.

"කලා සංගමෙන් කතා කළේ නැද්ද නැන්දෙ?"

"මං කතා කළා පුතා.ලබන මාසෙ විතර සල්ලි ටිකක් දෙන්න පුළුවන් කිව්වා. ලොකු ගානක් දෙන්න බැරි වෙයි ලු තව අසරණ වුන කලාකරුවො හත් අට දෙනෙක්ටත් සල්ලි දෙන්න තියෙන නිසා....ඔයාල ෆේස් බුක් එකේ දානව කිව්ව වැඩේ මොකද උනේ?"

රජීව කරදර සිතින් නැන්දා  දෙස බැලුවේය.

"ඒක දැම්මා නැන්දෙ.අනේ මන්දා ඒකත්" ඔහු අකමැත්තෙන් නාලිකාට දුරකථනය දුන්නේය.

නාලිකා ඒ දෙස බැලුවාය.සැමියාගේ ජනප්‍රිය ම කාලයේ ගත් සේයාරුවක් හා වත්මන් රෝගී තත්ත්වය දැක්වෙන රූපයක් සහිතව දමා ඇති එහි කියා ඇත්තේ එදා අපේ සිත්සතන් පිනවූ ඔහුට මෙදා අපි පිහිට වෙමු ලෙසය. ඔහුගේ සැත්කමට වැය වන මුදල සොයා ගැනීමට උදව් ඉල්ලා නාලිකාගේ බැංකු ගිණුම් අංකය ද පළ කර ඇත.

නාලිකා යටින් ලියා ඇති ප්‍රතිචාර කියවන්නට වූවාය.

බොහෝ දෙනෙක් බුදු සරණ, දෙවි පිහිට,ඉක්මන් සුවය පතා ඇත.එක් ප්‍රකාශයක් වෙත ඇගේ ඇස නැවතුණේය.

මෙයාල අපිට විනෝදේ දුන්නෙ නොමිලයේ නෙවේ නෙ.අපි අවුරුද්දකින් හොයන ගාන එක ෆිල්ම් එකකින් හොයපු මිනිස්සු ඒවා නාස්ති කරල ලැජ්ජ නැතිව ද දැන් අපෙන් ආධාර ඉල්ලන්නෙ.

නාලිකාගේ පපුව හිර වෙන්නාක් මෙන් දැනුනේය.ඇය දුරකථනය පුටුවක් උඩින් තබා ගෙතුළට ගියේ රජීවගෙන් කඳුලු සඟවමිනි.

ඒ කියා ඇත්තේ බොරුවක් ද නොවේ. සැමියාට ඒ කාලයේ ටෙලි නාට්‍ය චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් තිබුණේ ඉතා ඉහළ ඉල්ලුමකි.ඔහුගෙන් දින ලබා ගැනීමට පොරොත්තු ලේඛනයක සිටිය යුතු තත්ත්වයක් උදා වී තිබුණි.ඔවුන් පදිංචි ව සිටියේ කොළඹ නගර මධ්‍යයේ නිවසකය.එහි කුළිය ඉතා ඉහළ විය. වරක් දෙකක් අම්මලාගෙන් ලැබුණ ඉඩමේ ගෙයකට අත්තිවාරම් දමන්නට නාලිකා යෝජනා කළත් සැමියා සැම විට ම අකමැති වූයේය.

"ඔච්චර දුර ඉඳන් කොහොමද ෂූටින් එන්නෙ.ටවුන් එකක් කිට්ටුව නම් හදල කුලියට වත් දෙන්න තිබුණා.....

සැමියා පාවිච්චි කළේ ඒ ඒ කාලයට කරළියට ආ අලුත් ම වාහන වර්ගයයි. ඇන්දේ පැළැන්දේ අලුත් ම විලාසිතාය. ආරාධනා ලද උත්සව, සාද, රූපවාහිනී වැඩසටහන් නිමක් නැත.ඒ කිසිවකට ඔහු එක ම ඇඳුම දෙවරක් ඇන්දේ නැත.

"මගෙ ජනප්‍රියකම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇහේ.මිනිස්සු කැමති තමන් ආස ම නළුවා අලුත්ම ස්ටයිල් එකට ඉන්නවට.අපිට අමතක වුණත් එයාලට මතකයි අපේ හැම පොඩි දෙයක් ම."

අධික මිල ගණන් වල ඇඳුම් මිල දී ගනිද්දී ඔහු සාධාරණීයකරණය කරයි.

....අනේ මන්දා මේ නාලකයා නම් යාළුවෙක් කියන්නත් ලැජ්ජයි"විටෙක ඔහු තම සම කාලීන මිතුරෙක් ගැන කීවේය.

"ඇයි?" නාලිකා කුහුලින් ඇසුවාය.

"එක ම ඇඳුම් ටික මාරු කර කර අඳින්නෙ හැම ෆන්ශන් එකට ම.අපිටත් එක්ක ලැජ්ජයි. සයිස් හරි නෑ නැත්නම් මගෙ එකක්වත් දෙන්න තිබුණා"

"ඔයාට වැඩ වැඩියි කියල බාර නොගත්ත ෆිල්ම් එක නාලක නේද කළේ.හොඳ ගානක් හම්බ වෙන්න ඇතිනෙ.කෝ ඒවා"නාලිකා ද ඒවාට පෝර දැම්මාය.

"පොදි ගහගෙන මොනව කරනවද මන්දා.යනකොට ගෙනියන්න වෙන්ඩෑ"එදා සැමියා ගේ හිනාවට නාලිකාත් එකතු විය.

එසේ පොදි ගැසූ මුදලින් නාලක රෙදි කඩයක් ඇරඹුවේය.හොඳම මිතුරා නිසා සැමියාට ද විවෘත කරන දා ඇරයුම් ලැබී තිබුණේය.

"අපෝ නාලකයගෙ මහ ලොකු කඩේ. ගියාටත් පාඩුයි.පේමන්ට් එකේ විකුණනවා ඊට වඩා කොලිටි ඒවා"එදා සැමියා එය හෙළා දැක්කේය.

නමුත් අද එය දෙස් විදෙස් ප්‍රභූවරුන් පවා ඇඳුම් මිලට ගන්නා ප්‍රධාන පෙළේ වෙළඳසලකි.දැන් එය පාලනය කරන්නේ නාලක ගේ පුත් ලසිත ය. රජීව සේවය කරන්නේ ද එහිය.රජීව මේ කලගුණ සලකන්නේ ඒ උදව්ව මතක ඇති නිසාය.

 මේකප්, ව්‍යායාම වලින් කොතරම් නවත්වන්නට හැදුවත්  මැදිවිය එළඹෙද්දී තව දුරටත් පෙම්වතාගේ චරිතය සැමියාට ලැබුනේ නැත. තාත්තාගේ, වැඩිමහල් පිරිමියෙක්ගේ චරිත ලැබුණත් කලින් තරම් ඉල්ලුමක් හෝ ආදායමක් ලැබුණේ නැත. එහෙත් ඔහුගේ වියදම් අඩුවක් නොවීය.

"මිනිස්සු හිතයි අපි බංකොලොත් කියල" කුළිය අඩු ගෙයකට යන්න, මිල අඩු වාහනයකට මාරු වන්න නාලිකා යෝජනා කළ හැමවිට ම ඔහු කීවේය.අවසානයේ  කවදා හෝ දුවට පවරන්නට සිටි ගමේ ඉඩම් කෑල්ල විකුණා සියලු ණය තුරුස් ගෙවා මේ කුඩා ඇනෙක්සිය බද්දට ගත්තේත් අමාරුවෙනි.

දුව ගැන මතක් වෙද්දී නාලිකාගේ පපුව නැවත ගිනි ගත්තේය.

"දුවත් තාත්තගෙ අඩි පාරෙ යනවද?" රූපවාහිනී නිවේදකයා කට පාඩම් ප්‍රශ්නයක් අසයි.

" අපොයි ඔව්.දුව ඉස්කෝලෙ හැම කොන්සට් එකටම නැතුවම බැරි කෙනෙක්. ගෙදරදිත් කණ්නාඩිය ඉස්සරහට වෙලා රඟපාන එක තමා වැඩේ."සැමියා ඉතා ආඩම්බරයෙන් කියයි.

පාසලේ හැම ප්‍රසංගයක ම දුව ව ගත්තේ ඇගේ දක්ෂතාවයට වඩා ඇය හරහා සැමියාගෙන් ඒවාට ලබා ගත හැකි අනුග්‍රහය නිසා බව නාලිකා දනියි. දුවගේ පන්තියේම සිටි ගායකයෙකුගේ දියණියක් වූ සංජානා නම් නැටුමට, රැඟුමට  සැබෑ දක්ෂතා පෙන්වුවත් ඇයට කරළියට එන්නට ගෙදරින් වැඩි ඉඩක් ලැබුණේ නැත. ඇයගේ පියා ජයනාත් "කලාව එයාලට විනෝදාංශයක් වුණාට කමක් නෑ. පළවෙනි දේ ඉගෙනීම" ලෙස සැමියා සමග කියා තිබුණේය.

"පිස්සු අර ජයනාත්ට.....කෙල්ලට කළ එලියට එන්න දෙන්නෙ නැහැ. ලමයි දක්ෂ දේට අපි ඉඩ දෙන්න ඕන" සැමියා ඒ විස්තරය ඇය සමග කියා බැණ වැදුනේය.

උසස් අධ්‍යාපනයට විදෙස් ගත වූ ජයනාත්ගේ දූලා දෙදෙනා ම දැන් එහි පදිංචි ව සිටිති.ගිය වසරේ දරුණු අසනීපයකට ගොදුරු වූ ඔහුව දූවරු වහා ඇමරිකාවට ගෙන්වා සුවපත් කර ගත්හ.දැන් දෙමහල්ලෝ ද එහි වාසයට යන බව ආරංචිය.

තාත්තාගේ අඩි පාරේ යන බවට ආශිර්වාද ලබමින් කලා ලෝකයට ආ ඔවුන්ගේ දියණිය අඩි පාරෙන් අහසටම නැග්ගේ දෙමාපියන්ටවත් කීකරු නැති සරුංගලයක් පරිදිය. සරුංගලයේ නූල කැඩී ගොස් ඇය පරක් තෙරක් නැති අහසේ අතරමං විය. තාත්තාගේ නම ගෙනයන්නට ආ දුව අවසානයේ හත් මුතු පරම්පරාවක ම ගෑවේ ලේසියෙන් මකා ගත හැකි දැළි අඟුරක් නොවේ. සැමියා ලෙඩින් වැටෙන්නට එයත් හේතුවක් වූ බව නාලිකා නිතර සිතයි.

"නැන්දා කැමති නම් මං පොඩි යෝජනාවක් කරන්නද?"ඇගේ කල්පනාව බිඳ දමමින් එතැනට ආ රජීව ඇසුවේය.

"මොකක්ද පුතා?"

"මේ වෙලාවෙ කොහොම හරි අපි මාමගෙ ඔපරේෂන් එක කරන්න ම ඕනනෙ.මං අපේ මැනේජර්ගෙන් අහන්නම්. මාමගෙ වටින ඇඳුම් ටික අපි විකුණමු ද?"

නාලිකා පුදුමයෙන් බැලුවාය."ඒව කවුද ගන්නෙ පුතා?"

"අය්යෝ නැන්දෙ ඕන තරම් අය ඉන්නවා ඔය වගේ ඇඳුම් කුලියට ගන්න.අපේ ශොප් එකෙත් එහෙම සෙක්ශන් එකක් තියෙනවා.ප්‍රසිද්ධ අය ගොඩක් එනවා එක එක ෆන්ශන් වලට ඇඳුම් රෙන්ට් කරන්න"

මඟුල් ගෙවල් වල දී මනමාලයා එසේ ඇඳුම් කුලියට ගන්නා බව අසා තිබුණත් වෙනත් අය එසේ කරන බව ඇය නොදනී.

"නම් ගම් කියන්න බෑ. ඕන තරම් අය එයාල පාවිච්චි කෙරුව ඇඳුම් අපිට විකුණලත් තියෙනවා.ආයෙ කුලියට ගන්නත් එනවා.අපි ටයි එක,ශර්ට් එක මාරු කරල අලුත් ම කිට් එකක් වගේ හදල දෙනවා.මේ ළඟදි පිටරටින් ආව ඇමති කෙනෙකුටත් හදිසි ෆන්ශන් එකක් වෙලා සූට් එකක් කුළියට අරන් ගියා. ජනප්‍රිය සමහරු සුපිරි වාහන පාවිච්චි කරන්නෙත් රෙන්ට් එකට අරන්.අපි හිතන්නෙ එයාගෙ පෝසත්කම කියල." නැන්දා නිහඬ නිසා රජීව දිගට ම කීවේය.

නාලිකාට සුසුමක් හෙළුනේය.

"ඔව් එහෙනං.ඒකවත් කරල බලමු"

"පැය දෙක තුනක වැඩේට ලක්ෂ ගණන් වියදම් කරන්නෙ මොකටද නැන්දෙ."

සැමියාට එදා එවන් නුවණක් නොතිබ්බේ ඇයි දැයි ඇයට සිතුනේය.

 

Shanika Tennakoon

Comments