පාඩම

 


අලුත් නැවෙන් ගොඩ ගිය මුල්ම සින්නා ලෙස ඒ වසරේ වාර්තාව හිමි කර ගත්තේ රොශේන් ය.ඔහු බිලී බා ගත්තේ ගම්බදකින් ආ තිළිණිවය.සෙල්ලක්කාර රොශේන් හා අහිංසක තිළිණි කොච්චර කාලයක් ළං වී සිටීදැයි බොහෝ දෙනා ඔට්ටු ඇල්ලුවත් දැන් ඒ සම්බන්ධයට වසරක් ඉක්මවූයේ කැම්පස් කතා වලට තවත් පුදුමයක් එක් කරමිනි.

 මේ සම්බන්ධය තුළ නිතර නිතර සුළි කුණාටු හමා ගිය බව දැන සිටියේ ඔවුන්ගේ ළඟම යහළුවන් පමණි.

"මොකටද බං ඔහොම රණ්ඩු වෙවී" වෙන කෙල්ලක් හොයා ගනිංකො"එසේ තරහ වූ එක් දිනෙක රූමා  වූ ජයාන් ඇසුවේය.

"ඒකෙත් පොඩි ගතියක් තියෙනවා බං. ලව් එක රිෆ්‍රෙශ් වෙන්නෙ එතකොට "

ඔහු එසේ කීවාට රොශේන් වහ වැටී ඉන්නේ තිළිණිගේ පියා ගමේ සෑහෙන වතaකමක් ඇත්තෙක් වීමට බව ජයාන්ට කවුදෝ කියා තිබුණේය.

"මොනවටද උඹල දෙන්න ඔය හැටි මරා ගන්නෙ?"එවර ඇසුවේ දසුන් ය.

"මරා ගන්නව නෙවෙයි බං,ඒකි මොකක් හරි ගොං කතාවක් කියනවා මං ඒකට පුප්පලා තරහ වෙලා කතා නොකර ඉන්නවා දවසක් දෙකක්.ඊට පස්සෙ ඒකි ම එනවා යාප්පු වෙවී.මං තව ටිකක් ගණන් උස්සලා ආයෙ යාළු වෙනවා" රොශේන් තමන්ගේ හපන්කම උජාරුවෙන් කියයි.

"ඔහොම ගිහින් උඹව එපා වෙයි ඒ කෙල්ලට"

"අපෝ ඒක නම් කොහෙත්ම වෙන්නෙ නෑ.....මං දාල ගියත් මාව දාලා යන්නෙ නෑ ඒකි කීයටවත්?"

"ඇයි ඒ?"ජයාන් සැකයෙන් ඇසුවේය.

"ඕකි යන්තං කැම්පස් තේරුණේ නැත්නම් මෙලහකටත්  ගමරාළෙක් බැඳගෙන දැළි වළං එක්ක ඔට්ටු වෙවී.....මෙලෝ දෙයක් දන්නෙ නෑ.බස් එකක තනියෙං ගිහින් නෑ. කොන්දගෙන් ටිකට් එකේ ඉතුරු ඉල්ලන්න බයයි. කඩේකින් තෝරලා බඩු ගන්න දන්නෙ නෑ. පාරවත් පැන ගන්න බෑ.හරි හමං යාළුවෙක්වත් නෑ"

"යාළුවො සෙට් කර ගන්නෙ කොහෙද?උඹ සින්නක්කර ගත්තානෙ ඊට කලින්" රොශේන් කියන අපහාස කතා ගැන නොරිස්සුමින් දසුන් උත්තර බැන්දේය.

වෙන අවස්ථා වල කෙසේ වෙතත් මෙවර රොශේන් තරහ වී සතියක් ම ගත වුණත් තිළිණිගෙන් ඇමතුමක් ආ බවක් නොපෙනුණේය.

"උඹලා දෙන්නා තාම තරහ ද බං?"

රොශේන්ගේ ෆෝන් එකට විවේක ලැබී ඇති බව දුටු ජයාන් ඇසුවේ කීප දිනක් නිරීක්ෂණය කිරීමෙන් පසුය.

"ආ....ඊයෙ කෝල් කරල තිබුණා.මං ගත්තෙ නෑ"රොශේන් යටැසින් බලා කීය.

"උඹ හෙට දෙන්න තියෙන එසයින්මන්ට් එක කළාද?"දසුන් මාතෘකාව මාරු කළේය.

"මොන?"රොශේන් ඇසුවේ අහසින් පාත් වූ විලසය.

"ඇයි බං උඹ අපි ඔක්කොටම කලින් ඒව කරන එකානෙ.අපි දෙන්නා නම් දවල් ගල් කොපියක් දා ගත්තා.උඹෙන් ඇහුවෙ නෑ උඹ කලින්ම ඉවර කරන නිසා"

වෙනදා රොශේන්ගේ පාඩම් වැඩ කටයුතු දිනපතා සොයා බැලුවේ තිළිණිය.ඇය වෙන ෆැකල්ටියක හෝ පහළ වසරක උගත් බව එයට බලපෑවේ නැත.

"මේ උඹේ ගෑණු ළමයගෙ නම තිලිණි සියඹලාගොඩගේ දෆෝන් එකට එබීගෙන සිටි දසුන් ඇසුවේය.

"හ්ම් ඇයි?"

"එයා එෆ් බී ඉන්නවද?"

"පිස්සුද බං'ඒකිට ඊ මේල් එඩ්‍රස් එක හදල දුන්නෙත් මං.ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න දන්නෙ නෑ" රොශේන් තවමත් අපහාස කිරීම අඩු කර නැත.

"එහෙනං ළඟදි හදා ගන්න ඇති.මේ මට ෆ්‍රෙන්ඩ්ස් සජෙශන් වලට ඇවිත් තියෙන්නෙ."

"මොකක්???"

"ඔව් බලපංකො නම ගහල.අහ්........... මේ ළමයා ඉන්නවා අපේ කලා කවයෙ කාරක සභාවෙ. ඒකයි මට සජෙස්ට් වෙන්න ඇත්තෙ"

රොශේන් විමතියෙන් ෆෝන් එක බැලුවේය.

ඔව් ඒ ඇයයි....පහළට බලාගෙන යද්දී ඔහුගේ ඇස ඇය දවසකට පෙර දැමූ පෝස්‍ට් එකක් වෙත නතර විය.

ඔබ මා හැර යන වතාවක් පාසා මම ඔබ නැතිව ජීවත් වීමට උගත්තෙමි!!!'

 

Comments