මනමාලයෙක්

"පුංචි අම්මට මං මුල ඉඳන් ම කිව්වා.....නංගිට ඕන ඕන හැටියට නටන්න දෙන්න එපා කියල"

"කෙල්ලෙක්ට උගන්නන්න ඕන සීමාවක් තියෙනවා.පිටරට යවලා ඒ කුණු ගොඩවල් ඔලුවෙ පුරවගෙන ඇවිත්"
ගෙතුළට ඇතුල් වෙමින් සිටි උමායාට ඇසුණේ මෙවන් දෙබස් රැසකි.කටහඬ කාගේ වුවත් ඒ දොස් කියන්නේ නම් තමන්ට බව වටහා ගත් ඇය හෙමින් හෙමින් කුස්සිය පැත්තට ගියාය. හිතුවා හරිය.කුස්සියේ මේසය වටේ අම්මා මැදි කරගෙන කියවන්නේ ආච්චීත් ලොකු අම්මාගේ දුව වූ දීප්තිත් ය.
අම්මා ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් දෙපස බලමින් නිහඬව සිටියි. උමායා දැකීමෙන් ඇය යම් සැනසීමකට පත් වූවාය.ප්‍රධාන චූදිතයා ඇවිත්ය.
"හා ආච්චී කොයි වෙලාවෙද ආවෙ?" ඔවුන් මෙතෙක් කිවූ කිසිවක් නෑසුණ ගානට උමාලි ඇසුවාය.
"මේ ඇවිත් තියෙන්නෙ හපනා. මෙන්න මෙහෙන් ඉඳ ගන්න."දීප්ති අක්කා බලෙන් ම ඇයව ඔවුන් අතරින් ඉන්දවා ගත්තාය.
"මොකද අක්කෙ අවුල?"උමායාට ඔවුන් හරිබරි ගැහෙන්නේ කුමක් ගැන කියන්නදැයි වැටහුණත් ඇය කිසිත් නොදත් ලෙස ඇසුවාය.
"අවුල?"ඇත්තට ඔයාට අම්මා ගැනවත් දුක නැද්ද??"
"ඇයි අම්මේ අසනීපෙන් ද?"
"දුවෙක් කසාද නොබැඳ ගෙදර ඉන්න එක අම්මෙක්ට ලොකු අසනීපයක් තමා.කොයි තරම් බරක් ද?"
ආච්චී එවර පටන් ගත්තාය.
"අම්මට මාව බරයි ද අම්මේ?....... කවදද මාව අන්තිමට වඩා ගත්තේ?"උමායා අහිංසක ලෙස අසයි.ඒ අහන හැටියට අම්මාටද හිනා ගියේය.
"උමා ඔයාට තාම දාසයයි කියලද හිතන් ඉන්නේ?"දුවගේ විහිළුවට අම්මාත් එකතු වීම ගැන තරහ ගත් දීප්ති කඩා පැන්නාය.
"අපොයි නෑ.ඒක දෙකෙන් වැඩි කරන්න පුළුවන් හෙට අනිද්දාට"
"හහ්මට තිස් දෙකක් වෙද්දි ලොකු දුව තුනේ.පොඩි දුව මොන්ටිසෝරි"
"මං ඒ වයසෙදි ඔයාලගෙ අම්මාත් කොටහළු වෙලා"ආච්චීද පෝර දැම්මාය.
"හරි හරි ඒ ඔයාලා කලින්ම කසාද බැන්ද නිසානෙ"
"කලින් නෙවේ අපි හරි වයසෙදි කසාද බැන්දෙ.ඔයා වගේ සෙල්ලම් කර කර හිටියෙ නෑ"දීප්ති අක්කා අද නම් එල්ලෙන්නට ම එයි.
"දැන් කවුද සෙල්ලම් කර කර හිටියෙ?ඔයාලා විස්සෙන් විසි දෙකෙන් කසාද බැන්දා.ළමයි හැදුවා. මං ස්කොල්ස් දිනලා රට ගියා.ඩිග්‍රී කළා. ජොබ් කරනවා. හැමෝගෙම ජීවිත එක වගේ ගලාගෙන යනවයැ"
එවර නම් උමායාටත් තරහක් ආවේය.
"ඔය ඕනවට වැඩි ඉගෙන ගැනිල්ල තමා මෙයාගෙ හෙණේට හිටියෙ පුංචි අම්මෙ. දාහක් ජාති ගැලපෙන මිනිස්සු හොයන්නේ"
"අර කළු මුදලාලිගෙ පුතා කොච්චර වටිනවද?ළඟදිත් පොල් වත්තක් ගත්තා"ආච්චී කීවාය.
"කොහෙද මෙයාට බිස්නස්කාරයෝ විසයි නෙ.ලොකු උගත්තු එපැයි"
"මං බිස්නස්කාරයෝ එක්ක තරහ නෑ. අපි දෙගොල්ලො හිතන විදිය, වටිනාකම් විදියට පිළිගන්න දේවල්"ගති සිරිත් අහසට පොළව වගේ........ අපේ ඔෆිස් කට්ටිය ගඟක් අයිනෙ සයිට් එකක් බලන්න ගිය වෙලාවක එහෙම ප්‍රපෝස් කරල දවස් දෙක තුනක් කතා කරපු බිස්නස්මන් කෙනෙක් මාව බලන්න තඩි කාර් එකකින් එහාට ආවා. අපි ඒ ගං ඉවුරේ ගස් වවලා පරිසර පද්ධතියයි ජෛව විවිධත්වයයි රකින්න ප්ලෑන් කරද්දි මෑන් ඒ තියෙන ටිකත් කපල එතන ටුවරිස්ට් හොටෙල් ගහන්න කතා කළේ. මට පොළව පලාගෙන යන්න හිතුණා"
ඒ කතාවට නම් දීප්තිටත් හිනා යන්නට ආවත් ඇය මේ ආච්චීවත් ඇදගෙන ආවේ උමායාට හොඳවයින් දැනමුතුකමක් දෙන්නටය.
"හා බිස්නස්කාරයෝ ගැලපෙන්නෙ නෑ කියමුකෝ.ඊට පස්සෙ උපාධි තියෙන කී දෙනෙක්ගෙ යෝජනා ගෙනාවද?මං එදා ගෙනාවෙ හස්බන්ඩ්ගෙ යාළුවෙක්ගෙ එකම පුතා ගැන.....උපාධි තියෙනවා රටවල් ගානකින්. හොඳ රස්සාවකුත් තියෙනවා.මෙයා මොනව හරි කියල අන්න එහෙන් කැමති නෑලු"
උමායාට හිනා යන්නට ආවේය.දීප්ති අක්කා හදිසියේ පරල වූ හේතුව ඒකයි එහෙනම්.
"කවුද අර මහා උගතාද?අම්මෝ මං කියන්න කලින් උන්දැටම ගැලපෙන්නෙ නැති බව තේරුනා නම් හොඳයි"
"මොකක්ද ඒ ළමයගෙ තියෙන වරද?"
"එයා හිතන් ඉන්නෙ එයාට වඩා උගතෙක්"කෙරුමෙක් ලොවෙත් නෑ.එයා ඉරට හඳ කිව්වොත් ආනේ ඔව් කියන් ඔලුව නමං ඉන්න ඕන අනිත් හැමෝම. ඔහොම මිනිහෙක් බැඳල මට පිස්සු හැදෙයි"
"දැන් හැදෙන කෙල්ලො නම් මොක්කුද මන්දා.හරිම මුරණ්ඩුයි.අපි නම් ඒ කාලෙ මනුස්සයා ඉරක් ඇඳල දවසම ඒක උඩ හිටගෙන ඉන්න කිව්වත් කට හෙල්ලුවෙ නෑ"ආච්චී ආඩම්බරයෙන් කීවාය.
"ඈ අපේ සීයා ඉස්සර හමුදාවෙද හිටියෙ නැත්නම් පීටී සර් කෙනෙක්ද?ඔය තරම් දඬුවමක් දෙන්න ආච්චී මොකක් හරි ලොකු ම වරදක් කරන්න ඇති"
ආච්චීගේ තරහින් රතු වන මුහුණ දෙස නොබලා වෑයමෙන් හිනාව යටපත් කරගෙන උමායා කීවාය.
"පිටරට ජරාවල් ඔලුවෙ තියන් ඔය හිනා වෙන්නෙ ඉස්සර ඉඳන් ලංකාවෙ පැවතගෙන ආව හොඳ සිරිත් වලට" දීප්ති අක්කා ආච්චිට සපෝට් කරයි.
.............දීප්ති අක්කා කියන කෙනා තාම ජීවත් වෙන්නෙ දහ අට වෙනි සියවසේ....තේ එකක් හදා ගන්න, ගෙයක් අතු ගාන්න බෑ..... මිනිහා හොයන්නෙ බඳින්න කෙනෙක් නෙවේ ගෙදර වැඩට කෙනෙක්"
"අපොයි අපොයි ඔයා එතකොට බඳින්න හදන්නෙ මනුස්සයා ලව්වා ගෙදර වැඩත් කරව ගන්නද?"
ඇස් දෙක නළලෙ තියා ගත් අක්කා එවර අම්මා දෙස බැලුවේ මේ කෙල්ල කොහොමද හදල තියෙන්නේ කීමට මෙනි.
"මං කිව්වෙ නැද්ද කලිනුත්.පී එච් ඩී අරව මෙව්වා කරල මෙයාගෙ ඔළුව ඉදිමිලා.තමන්ගෙ ස්වාමියාට කන්න බොන්න හදල දීල ගෙදර වැඩපල ටික කරගන්න බැරි නම් මොන ගෑණුද?"
තමන්ට වඩා අවුරුදු පහ හයක් වැඩිමල් වූ දීප්ති අක්කා පහුගිය සියවසෙන් හිතන්නේ ඇයිදැයි උමායාට පුදුම හිතුනත් ඇය නිහඬ වූයේ ද නැත.
"ඔන්න ඔතන තමා අක්කේ ආච්චියේ වෙනස තියෙන්නෙ.මං හොයන්නෙ ස්වාමියෙක් නෙවේ.......ස්වාමි පුරුෂයෙක්"
"මොකක්ද දෙකේ වෙනස?"
-------Shanika Tennakoon----------
"වෙනස ද?ස්වාමියාට ඉන්නෙ සේවකයෝ.එයාලා තමන්ගෙ පාලකයා,ලොක්කා වෙනුවෙන් ඔක්කොම වැඩ ටික කරලා මොනව කිව්වත් කෙරුවත් කට පියන් ඉන්නවා........ස්වාමි පුරුෂයාට ඉන්නෙ බිරිඳක්. දෙන්නම පවුලේ වැඩ, දරුවන්ගේ වැඩ දෙන්නා සමගියෙන් සහයෝගෙන් කතා බහ කරල කර ගන්නෙ....ඒකට තමා සහකාරයායි සහකාරියයි කියන්නෙ. අපේ ආච්චිලා සීයලා පවුල් කෑවෙ මෙහෙමයි කියන අයවත් ඒ අතීතෙ හරියට තේරුම් අරන් නෑ. ඉස්සර ලංකාවේ සමාජේ පවුල් වල වුනේ වහල්කමක් නෙවේ.මහත්තයා ගෙදරින් පිට දේවල් වලට මූලික වුනා. නෝනා ගෙදර ඇතුළෙ දේවල් වලට මූලික වුනා. ඒ වුනාට පවුලෙ තීරණයක් ගනිද්දි එක්කෙනෙක්වත් හිතුමතේ වැඩ කළේ නෑ.දෙන්නා කතා බහ කරල සහයෝගෙන් තීරණ ගත්තෙ. ඒ කාලෙ නෝනලා ගෙදර වැඩ ඔක්කොම කළේ දාසිකමකින් නෙවේ. මහත්තයා ගෙදරට සල්ලි හම්බ කරනවා,බඩු ගේනවා. නෝනා ගෙදර වැඩ ටික ඔක්කොම කරනවා. දෙන්නා එහෙමයි ගෙදර වැඩ බෙදා ගත්තෙ
"හා හා බලං ඉන්න තව වයස ගියාම හම්බ වෙයි ඔය සියළු සුදුසුකම් සපිරූ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්"
"අක්කා,හස්බන්ඩ් කියන දේ දේව භාශිතය වගේ පිළිගන්න කැමති අය ඒ වගේ පිරිමියෙක් බැන්දාවෙ. හස්බන්ඩ්ට අතක් පයක් හොල්ලන්න නොදී ගෙදර වැඩ ඔක්කොම තමන්ම කරන්න කැමති අය එහෙම පිරිමියෙක් ව බැන්දාවෙ.මං හොයන විදියෙ පිරිමියෙක් ලැබුන දවසක මං බඳින්නම්.වයස යනවා අරක මේක කියල නොගැලපෙන කෙනෙක් බැඳල දුක් විඳිනවට" කසාදෙ කටු ගානවට වඩා තනිකඩ ජීවිතේ සැපයි." උමායා එවර තදින් කීවාය.
"මං කිව්වෙ ආච්චී,මේ වගේ ඉගෙනීමෙන් ඔළුව කුරුවල් වුණ අයට මේවා කොච්චර කිව්වත් ඔච්චර තමා"
දීප්ති වේගයෙන් කියා ගස්සාගෙන නැගිට්ටාය.......මට දුවව පන්තියෙන් ගන්න පරක්කු වෙනවා.හතට ලොකු දුවට ගණං වලට සර් කෙනෙකුත් ගෙදරට එනවා"
ඉගෙනීම කියන්නෙ ඔය තරම් නරක දෙයක් නම් මොකටද අක්කේ දූලාට ඔය හැටි නැහීගෙන උගන්නන්නේ අහන්නට දිව අගටම ආවත් උමායා පිට ව යන නෑයන් දෙදෙනා දිහා සිනාසිසී බලා සිටියාය.

Shanika Tennakoon
දැන් දීප්තිලයි,ආච්චිලයි එයාලගේ මහත්තුරුයි මට බැනගෙන එන්න එපා.මේ උමායා හිතන විදිය.

Comments

Post a Comment