ඇඳුම

           කැපී පෙනෙන කඩවසම්කමත් අලුත් ම විලාසිතා අනුව ඇඳුම් පැළඳුම් භාවිතයත් සිත් ගන්නා සුළු කතා විලාසයත් නිසා හශේන්ට තරුණියන්ගෙන් ඉහළ ජනප්‍රියකමක් ලැබී තිබුණේය.ඒ බව හොඳින් දැන සිටි ඔහු ද එයින් උපරිම ප්‍රයෝජන ගත්තේය.ඔහුට තරුණියන් ආශ්‍රය කිරීම විනෝදාංශයක් විය.නමුත් මේ එක සම්බන්ධයක්වත් වැඩි කල් පවතින්නේ නැත.

"උඹ මාරයි මචං"ඔහුගේ යහළුවෝ  විටෙක කියති.

"ඔෆිස් එකට එකයි,ගමේ එකයි,චැට් කරන්න එකයි,ජිම් එකේදි එකයි,පාටි වලදි තව කීයක් ද?"

හශේන් මහ හඬින් හිනැහුනේය.

"කෙල්ලො කියන්නෙ ඇඳුම් වගේ බං.... ගෙදරට අඳින ඇඳුම ඔෆිස් අඳින්න බෑ.ඒ ඇඳුම් ජිම් එකට හරි යන්නෙ නෑ. ඒවා පාටි වලට අඳින්න බෑ.එක එක තැනට ගැලපෙන්නෙ එක එක ඇඳුම්"තමා කරන්නේ මහා හපන්කමක් ලෙස ඔහු කියයි.

"උඹට තාම ජීවිත කාලෙටම ගැලපෙන ඇඳුමක් හම්බ වුණේ නැද්ද?"හශේන්ගේ කාමර සගයා වූ දීනත් ඇසුවේය.

"තාම නෑ බං,හිතපංකෝ අපි ඇඳුමක් ගන්න ගියාම දැක්ක පළවෙනි එකම සල්ලි දීලා ගන්නෙ නෑනෙ. ටිකක් ගලපලා හොයල මැච් කරල බලලනෙ ගන්නේ."

"හා හා උඹ තාම ෆිට් ඔන් කරනවද ඒ කියන්නෙ?"

"අන්න හරි"

එක් දිනෙක හශේන් නවාතැනට ආවේ මහා සතුටකිනි.

"සිඩ්නි වල ස්කොල් එකකට දෙන්නෙක් තෝර ගන්නවා කම්පැනියෙන්.මටත් ඇප්ලයි කරන්න කිව්වා"

"ෂහ් මරු නෙ බං.නියම චාන්ස් එක" දීනත් සුබ පැතුවේය.

"ඒ වුනාට බං මොකක්ද ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරන්න තියෙනවා.ඒකෙ ලකුණු කීයක්ද ඕනලු"

"ආ....IELTS?"

"අන්න හරි මචං.උඹ මොනවද දන්නෙ ඒ ගැන?"

"හ්ම්ම්......කඩ්ඩ පොලිශ් නම් ගේමක් නෑලු.නැත්නං ඒවට පන්ති තියෙනවා"

"උඹ දන්න තැනක් තියේ නං හොයල දීපංකො.එහෙ ගියාම මං උඹටත් සලකන්නං"

"අනේ උඹේ සැලකිල්ල.උඹ එහෙනුත් සුද්දියක් හොයා නොගත්තොත් මගෙ කන කපපං"

"නැතුව නැතුව මල්ලි.මෙහෙ අඳින ඇඳුම් ඒ වගේ සීතල රටකට ඔරොත්තු දෙන එකක් නෑනේ"

හශේන් හඬ නගා හිනැහුනේය.

 දීනත්ගේ උදව්වෙන් සති අන්ත පන්තියක් හශේන් සොයා ගත්තේය. දැන් හශේන්ගේ සති අන්‍තය සුපුරුදු විනෝදාංශයට  වැය කළ නොහැක. එහෙත් ටික දවසක් යද්දී හශේන් හිනා කටක් පුරවාගෙන ආවේය.

"ඔන්න මේ පාර නං මට හරියට ම හරි යන ඇඳුම සෙට් වුණා මචං"

දීනත්ට ඔහු කී දේ තේරුණේ නැත.

"ක්ලාස් එකට එන කෙල්ලක් ඉන්නවා. අන්න එයා තමා මං මෙච්චර කල් හොය හොය හිටියේ "ඔහු නැවත කීවේය.

"වාව්.....යන්තම් ඇති.කන්ග්‍රැජුලේශන්ස් මචං.කවුද කවුද ඒ වාසනාවන්ති. මොනවද එයාගෙ තියෙන විශේෂ ලක්ෂණ උඹට හිත යන්න තරම්?"

"විශේෂයි කියන්නෙ මචං දිල්කිගෙ කතාව, ලස්සන, ගතිගුණ,හැසිරීම, පවුල,ඉගෙනීම ඔක්කොම විශේෂයි. එයාගෙ අයියලා අක්කලා ඔක්කොම ඉන්නෙ යූ.එස්.ඒ. අම්මයි මෙයයි විතරයි ලංකාවෙ.ලබන අවුරුද්දේ ඒ දෙන්නත් යන්න ඉන්නෙ. එහෙ කැම්පස් එකට යන්න මේ එක්සෑම් එක ඕන නිසා කරන්නෙ.ඉංග්‍රීසි පුළුවන් වතුර වගේ......"කවදාවත් තමන් යහළු වන ගැහැණු ළමයින් ගැන වැඩි විස්තරයක් නොකියන හශේන් එක හුස්මට දිල්කි ගැන කියාගෙන ගියේය.

ඉන්පසු හශේන් වෙනස් වීගෙන ගියේ හිතා ගන්නවත් බැරි තරම් වේගයකිනි. හැමදාමත් රෑට චැට් කිරිලි වරු ගණන් ඇදේ.පන්ති යන හැම දවසකම වරුවක් තිස්සේ හැඩ බලයි.අඳින ඇඳුම තෝරන්නේ කලින් දවසේ සිටය.වරක් ඇන්ද ඇඳුමක් ආයෙත් අඳින්නේ නැත. සුවඳ විලවුන් නාගෙනය.සපත්තු දෙකෙන් මුහුණ පෙනෙයි.

"උඹ ජොබ් එකට ඉන්ටවීව් යද්දි වත් ඔහොම පිළිවෙළට ගියාද බං"

අලුත් ඇඳුමක් නැති දවසට තමන්ගේ අළුත් ඇඳුම් ඇඳ පන්ති යන හශේන් දෙස බලා දීනත් හිනැහෙන්නේ ආදරයකට මිනිහෙක් වෙනස් කළ හැකි තරම ගැන කල්පනා කරමිනි.

"මෙහෙම කළාට පාඩු නෑ මචං.දිල්කි ගිය ගමන් මාවත් ගන්නවා කිව්වා.මං ගිය සතියෙ එයාලගෙ ගෙදර ගිහින් අම්මා එක්ක කතා කළා.සුපිරි ගෙයක්. ඒ අම්මාත් හරි කැමතියි දිල්කි පිළිවෙලක් වෙලා ම මෙහෙන් යනවට. එයාත් බයෙන් ඉඳල තියෙන්නෙ  කෙල්ල සුද්දෙක් එක්ක යයි කියල."

"ශාහ්....එහෙනම් ළඟදිම වෙඩිමත් ගන්නවද උඹ?"දීනත් විස්මයෙන් ඇසුවේය.

"ඒකට කල් මදි බං.පොඩියට ගන්නත් බෑ.එන්ගේජ්මන්ට් එක ගන්නවා. එතකොට කෙල්ල වෙනස් වෙයි බයකුත් නෑනෙ"

දීනත් හශේන් ගැන හදවතින් ම සතුටු වුණේය.

දින කීපයක් අහස පොළව ගැටලන කල්පනාවක සිටි හශේන් දීනත් ඇමතුවේය.

"මට සල්ලි ටිකක් හොයා ගන්න විදියක් කියපන්කො"

"ඇයි හදිසිය?කීයක් විතරද?"

"ලක්ශ විසි පහක් විතර"

"බුදු අම්මෝ මොකටද එච්චර?"දීනත් විස්මයෙන් ඇසුවේය.

"ලබන අවුරුද්දේ දිල්කි කැම්පස් යන්න හිටියේ.කැම්පස් එකෙන් මේ අවුරුද්දේ වේකන්සි තියෙනවා කියල.ලබන සතිය වෙද්දි සල්ලි බඳින්න ඕන.අම්මත් යන නිසා එයාලා ගේ විකුණලා ඒ සල්ලි වලින් ඔක්කොම වියදම් කරන්න හිටියෙ.මේ හදිසියේ ඒක කරගන්න විදියක් නෑ. බාගයක් විතර සල්ලි තියෙනවා ඉතුරු ටික හොයා ගන්න බැරි වෙයි ද මගෙන් ඇහුවා.බෑ කිව්වොත් චාටර් නෙ බං"

"එයාගෙ නෑයොත් ඒ රටේ නේද ඉන්නවා කිව්වෙ.ඒ අයගෙන් උදව්වක් නැද්ද?"

"එයාලත් ටිකක් දුන්නලු.එහෙ ඉන්න තැන් හෙම එයාල ගානෙ ලෑස්ති කරන්නෙ"

කොතරම් කල්පනා කළත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීනත් දැන සිටියේ නැත.

හශේන්ගේ හිස ගිනිගත් බඳු දින කීපයක් ගෙවී ගියේය.

කාර්‍යාලයේ වැඩ කරමින් සිටි දීනත්ට පිළිගැනීමේ නිලධාරිනියගෙන් ඇමතුමක් ලැබුනේය.ඒ තමන් හමු වීමට පොලිසියෙන් පැමිණ ඇති බවය.දීනත්ට තරු පෙනුණේය.පොලිසියේ කිසිම යාළුවෙකුත් නැති නිසා මේ නම් හොඳක් නොවන බව වැටහුණත් තමන් කිසි වරදක් කර නැති බව ඔහු දනී.සගයන් අමුතු ලෙස බැලීමට පෙර ඔහු කඩිනමින් පහළට දුව ගියේය.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහු බලාපොරොත්තුවෙනි.

"දීනත් මලලසේකර?"

"ඔව් සර්"

"හ්ම්...අපි ආවෙ කට උත්තරයක් ගන්න.....හේශාන් රන්දෙනිය.....කොහොමද අඳුනන්නෙ?"

"අවුරුද්දක විතර ඉඳන් අපි දෙන්නා එක බෝඩිමේ ඉන්නෙ."

"පහුගිය දවස් වල කොහොමද මෑන්ගෙ හැසිරීම?සල්ලි ප්‍රශ්න එහෙම තිබුණද මෑන්ට?"

දීනත් කල්පනා කළේය.බොරුවක් කියා අමාරුවේ වැටිය යුතු නැත.

"එයා යාළු වෙලා හිටිය ගෑණු ළමයාට පිටරට කැම්පස් එකකට යන්න  සල්ලි වගයක් මදි වෙලා කිව්වා. වෙන දෙයක් නම් දන්නෙ නෑ සර්.ඇයි සර් මොනව වෙලාද හේශාන්ට?"

"මිනිහා තමන් වැඩ කරන කම්පැනියෙන් ලක්ශ විසි තුනක් හොරකම් කරල......."

"ස්...සර්??"

"ඔව්.....ඊටත් වඩා භයානක කාරණේ මිනිහා ඒ සල්ලි දීලා තියෙන්නෙ ලංකාවෙ හැම පොලිසියකින් ම හොයන හොර කල්ලියක ගෑණු දෙන්නෙක්ට...ගොදුර ගත්තට පස්සෙ උන් දෙන්නා අතුරුදහන්"

දීනත්ට කන ගාවින් අකුණක් වැදෙනවා දැනුනේය.හැමදාම ඇඳුම් මාරු කරන ලෙස පෙම්වතියන් මාරු කළ හේශාන්ගේ ඇඳිවතත් මෙවර ගැලවී ඇති බව දීනත්ට පැහැදිලි ව පෙණුනේය.

 


Shanika Tennakoon

Comments