ලක්ෂණ

 


පිට්ටනියට ආ ටෙක්ලා මිස් වටපිට බැලුවාය.නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් පිටියේ සිටින්නේ නිම්සරා පමණි.

"කෝ අනිත් අය?"

ඇය මේ වෙද්දීත් ව්‍යායාම පටන් ගෙන ඇති නිම්සරාගෙන් ඇසුවාය.

"ආවා මිස් ....තාම ලෑස්ති වෙනවා"

"ලෑස්ති වෙන්න මොකක්ද මගුල් ගෙදරක යන්නද ?"

ඇය නලාව තදින් පිම්බාය.

ඒ හඬින් ඇයට කේන්ති ගොස් ඇති බව තේරුම් ගත් කෙල්ලෝ රොත්ත එක පොදියට එළියට පැන ගත්හ.

"මොකද අද ප්‍රැක්ටිස් කරන්නෙ නිම්සරා විතරද?"

ඇය තදින් ඇසුවාය.

"සන්ක්‍රීම් ටිකක්වත් නැතුව මේ කට්ට අව්වට බහින්න බෑ මිස්.නිම්සරාගෙ නම් තව මොනව කළු වෙන්න ද?"

තවමත් අතේ තැවරුණ ක්‍රීම් තලියක් කකුලේ අතුල්ලමින් එකියක් කීවාය.

ටෙක්ලා එක්වරම නිම්සරා දෙස බැලුවාය.

ඇගේ හිත රිදෙන්නට ඇත්දැයි සිතා

"කෝ අද දසුන්‍යා නැද්ද?"ඇසුවේ කතාව වෙනතක හරවන්නටය.

"අද එන එකක් නෑ මිස්.අද හවස ටොප් මොඩල් කම්පැනියෙන් එනවලු කැම්පස් එකට එයාලගෙ අළුත් ප්‍රෝගෑම් එකට අළුත් මූණක් තෝර ගන්න."

හා එහෙනම් ඒකයි මිනාලිත් ගිය සතියෙ සැලුන් ගිහින් අතේ තිබ්බ ඔක්කොම සල්ලි ටික පූජ කරල දෙස් තිය තිය හිටියෙ...... නෙට් බෝලය රැගෙන එමින් සිටි නිම්සරා කල්පනා කළාය.

ඇයට තමන්ගේ සමේ පාට ගැන කියන කතා දැන් ගණනක් නැත.ඔව් ඉතිං මං කළුයි.කළු මිනිස්සු ඉන්න හින්දා නෙ අනික් මිනිස්සු සුදුවට පේන්නෙ.ඇය හිත හදාගෙන ඇත්තේ එසේය.

ප්‍රැක්ටිස් අවසන් ව හොඳටම මහන්සියෙන් ඇය නේවාසිකාගාරයට ආවාය.කාමරයේ දොර ලොක් කර නැත. ඇය සෝදිසියෙන් ඇතුල් වූවාය.මිනාලි හිටි හැටියේ දොරවල් ඇර දමා ගෙදර  පවා යන බව නිම්සරා අත්දැක ඇත.

කාමරයට ඇතුල් වූ සැනින් දුටු දෙයින් ඇය අඩියක් පස්සට විසි වුණාය.

මිනාලි ඇස් උඩ පුළුන් තබාගෙන මුහුණේ මොනවාදෝ ගාගෙන හාන්සි වී සිටියි.

"ආ ඔයා ආවද සරා?"

දොර අරින සද්දය ඇසී මිනාලි ඒ ඉරියව්වෙන් ම ඇසුවාය.

"හ්ම්"

"ඔයාට අද හවස වැඩක් මුකුත් තියෙනවා ද?"

"විශේෂයක් නෑ"

"අනේ එහෙනම් මගෙත් එක්ක අර මොඩල් කෙනෙක් තෝරන්න  එන එකට යමු....දිලක්ශි එන්නම් කිය කිය ඉඳල දැන් කියනව හදිසියේ ගෙදර යනවලු. ඕකිගෙ ඉරිසියාව.වෙන මුකුත් නෙවේ"

නාලා කාලා හොඳ නින්දක් දැමීමට සිතා සිටි නිම්සරා සුසුමක් හෙළුවාය.දැන් බෑ කිව්වොත් මටත් අහන්න වෙන්නෙ ඕකමයි.ඉන්පසු පළුදු වූ හිතක් සමග එක කාමරයක සිටීම අසීරුය.

වේලා ගැනීමේ පහසුවට උරහිසට පොඩ්ඩක් පහළට වන්නට කපා දැමූ  තෙත කොණ්ඩය යන්තම් අල්ලා කට්ටක් ගසාගෙන ඩෙනිමක් ඇඳගත් නිම්සරාත් මේක්අප් තට්ටුවක් ආලේප කර කොණ්ඩයට අමුතු මෝස්තරයක් කරගෙන අලුත්ම විලාසිතාවක ගවුමක්  ඇඳගත් මිනාලිත් එකට යද්දී වෙනදාට කියන  කොකයි කාක්කයි වගේ යන්නටත් වඩා අමුතු ම නොගැලපීමක් පෙණුනි.

 අදාල ශාලාවට එද්දී එතැන එක ම විලාසිතාගාරයකි.කොන්ඩ කඩාගෙන තවත් මේකප් දමමින් අලුත් සංදර්ශනයකි.

අපේ කැම්පස් එකේ මෙච්චර ලස්සන කෙල්ලො කොහෙද හිටියෙ.

තමන්ට ම කියා ගත් නිම්සරා ඉඩ ඇති තැනක හරි බරි ගැහී ඉඳ ගත්තාය.

ක්‍රීඩා ගැන මිස මේ ක්ෂේත්‍රය ගැන කිසිත් නොදන්නා ඇය චිත්‍රපටයක් නරඹන ලෙසින් බලා සිටියාය.

එතැන කියවෙන කතා අනුව මේ ලේසියෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවකි.මේ ආයතනයේ ප්‍රධානියා කාන්තාවකි. විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. ඇය අත ගහන කිසිවක් සම්මාන නැතිව නොනවතී.ඇගෙන් මේ ක්ෂේත්‍රයට අත් පොත් තැබූවෝ අද දැවන්ත චරිත වෙති.ඇයව දැක ගන්න ලැබීමත් සම්මානයක් වැනිය. කතා බහේ හැටියට නම් ඇය තවමත් මෙතනට ඇවිත් නැත.මූලික වට වලින් තෝරා ගත් රූමතියන්ගෙන් අවසානයේ සුදුසුම කෙනා තෝරා ගන්නේ ඇය විසිනි.

අවුරුදු කුමාරිය තෝරන්නට මෙන් සියලු දෙනා තම තමන්ගේ විස්තර ලියාපදිංචි කරති.වේදිකාව උඩ එහා මෙහා යති.කරකැවෙති.හිනාවෙති.එක එක කෝණ වලට හැරෙති,බලති.මේ සියල්ල පසෙකින් වීඩියෝ ද වෙයි.

වට කීපයකින් පසු එකිනෙකා ඉවත් වී අවසන් දහ දොළොස් දෙනෙක් ඉතිරි වෙද්දී නිම්සරාට මෙය අන්තිම කම්මැළි කමක් වී අවසන්ය. අවසන් වටයට මිනාලිත් ඇතුළත් නිසා දැන් ම යන්නට වෙන්නේ නැත.දැන් නම් ඇඳ පෙනෙන ගානය.ඇය පුටුවේ ම ඇලවී හීන් නින්දක් දැම්මාය.

එක වරම ඇය ඇහැරුනේ කවුරු හෝ උරහිසෙන් අල්ලා හොල්ලද්දීය. අවසානයේ මිනාලිට ඇයව සිහි වී ඇත.

"ගොඩක් වෙලා ගිය නිසා අපිට මොනව හරි කාලා බීලා එන්නලු. යමු ද?"

නිම්සරා ඇඟමැලි කැඩුවාය.කෑමට වඩා නින්ද වැදගත්ය.

"ඔයාල යන්න.මං ඉන්නම්"නැවත පුටුවට හිස තියා ගනිමින් ඇය කීවාය.

අලුත් නිරූපිකා පිරිස යන්නේ,වටපිට බලන්නේ ද තාලයකටය.ඒ ඉන්නේ ඊයේ හිටි කැම්පස් කෙල්ලන් ටික නම් නොවේ.අනේ දෙය්යනේ මුන්ට ගිය කලක්.මේකට තෝර ගත්තම බිමින් යන්නත් බැරි වෙයි.ආයෙත් ඇස් පියවෙද්දී සිනා සිසී නිම්සරා සිතුවාය.

නැවත ඇගේ නින්ද කඩා වැටුනේ කාගෙදෝ බැනුමකිනි.මේ තරම් වැදගත් දෙයක් පැවැත්වෙද්දී නිදා ගත් නිසා මේ බනින්නේ තමන්ට වත් දැයි එක් වර ම සිතුනත් ලෙක්චර් හෝල් වල නිදා ගන්න අපිට කාගෙන්වත් අවසර ඕනෑදැයි සිතමින් ඇය දෑස් වසාගෙන ම සිටියාය.

 "ඔයාලට මං කියන දේ තේරෙන්නෙ නැද්ද?නැත්නම් තේරුම් ගන්න මොළයක් නැද්ද?මේක ඉන්ටනැෂනල් ෆෙස්ටිවල් එකකට අපේ රට ගැන හදන ප්‍රෝග්‍රෑම් එකක්.මේ තීම් එකට මට ඕන නැචුරල් බියුටිනස්. ඒකයි අලුත් මූණක් හොයන්නෙ. කාවද මේ තෝරලා තියෙන්නෙ. ඔක්කොම චීන බෝනික්කියෝ වගේ.ලංකාව කවදාවත් අව්වක් වැටෙන්නෙ නැති රටක් කියල ද ලෝකෙට පෙන්නන්න ඕන.කිසිම නිරෝගීකමක් පේන්නෙ නෑ.අඩු ගානෙ කැපී පේන උසක් වත් තියෙනවාද?"

මේ කරච්චලය මැද නින්දක් ගැන හිතන්නට බැරි වූ නිසා නිම්සරා තරහින් ඇස් ඇරියේ කෑ ගහන්නේ කවුරුන්දැයි බැලීමටය.

මැදිවියට ආසන්න නමුත් තරුණ ජවයකින් යුත් වැදගත් පෙනුමැති කාන්තාවක් අලුතෙන් පිරිසට එක් වී ඇත. මෙතෙක් එතැන ලොක්කන් වී සිටි සියල්ලෝ ඇය ඉදිරියේ හිස නවාගෙන සිටිති.

"උස නම් මැඩම් අපිට හයි හීල්ස්...." කවුදෝ බොහෝ බැගෑ හඬකින් කීවේය.

"හයි හීල්ස්.හහ් මෝඩ වුනාට කමක් නෑ ඒක පෙන්නන්න එපා.මේ වැඩේ ඔයාලගෙ ඔලුවෙ නෑ.ගමක ලොකේෂන් එකේ රෙද්දයි හැට්ටෙයි අන්දලා හයි හීල්ස් දාගෙන..."

මිනාලි චීත්තයක් ඇඳ හයි හීල්ස් දමාගෙන නියරක් මැදින් යන හැටි පියවූ ඇස් අතරින් මැවී පෙනුනෙන් නිම්සරාට හිනාවක් එලියට පනින්නට ගියේය.

මෙතන නිදා ගත්තා මදිවට ඔවුන් කී දේටත් සවන් දුන් බව අහු වේ යයි සිතා ඇය හෙමින් ම නැගිට ශාලාවෙන් එලියට ආවාය.

ටිකකින් "එක්ස්කියුස් මී මිස්"ඇසුණෙන් ඇය හැරී බැලුවාය.

ශාලාවේ  බැණුම් අසමින් සිටි කාන්තාවක් ඇය අසලය.

"මිස් මේ තරඟෙට ද ආවෙ?"

එවර නම් නිම්සරාට හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.

"අපොයි නෑ.මං ආවෙ මගෙ යාළුවා එක්ක."

"මිස්ට අපේ මැඩම් කතා කරනවා"

මොන කුන්ඩ හට්ටියක් කඩා වැටෙන්නට යනවාදැයි හිතා ගන්නට බැරි වුණත් ඇය ඇතුළට ගියාය.

මෙතෙක් බනිමින් සිටි කාන්තාව සිනා සී ඇය එන දෙස බලා සිටියි.

"මම මිසිස් ජයලත්.මේ මිස්??"

"නිම්සරා"

"මිස් නිම්සරා ස්පෝර්ට්ස් කරනවද?"

"ඔව්.නෙට්බෝල්,ස්විමින්ග්,බැඩ්මින්ටන්,ටෙනිස්"

"පර්ෆෙක්ට්.....මිස් කැමතිද මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රසන්ටර් වෙන්න?"

නිම්සරා පුදුමයෙන් බැලුවාය.

පහයි පහක් උස තිබ්බාට කිතුල් රෑන් කොණ්ඩයක්වත් බටර් පාට හමක්වත් නැති මං ටීවී ප්‍රෝග්‍රෑම් එකකට??

"අකමැති නෑ නේද?අපිට පේමන්ට්  ප්‍රශ්නයක් නෑ.......මිස්ගෙ ස්ටඩීස්, ස්පෝර්ට්ස් වලට අවහිරයක් නොවෙන්න ශෙඩියුල් කරන්නම්"

ඇය නිම්සරාගෙන් වචනයක් ගන්නට ම තැත් කරයි.

නිරූපිකාවන් වෙන්නට සිටි පිරිස අවසන් වටයේ තේරීම් වලට එද්දී තරඟය අවසන් ව තිබුණි.

 

Shanika Tennakoon

 

Comments