ආරංචිය


අසංක,තාරකා හා ඔවුන්ගේ කුඩා පුතා ගමේ පදිංචියට ආවේ අලුතෙනි.අසංක හමුදා සේවයේ නියැලුන නිසා ගෙදර එන්නේ මාස කීපයකට සැරයකි. මේ නිසා තාරකාගේ තනි නොතනියටත් ගෙදර වැඩ වල උදව්වටත් ගමෙන් ම කාන්තාවක් සොයා ගන්නා ලදී.ඒ සුමනාය.සුමනා කඩිසර,සිතා මතා වැඩක් කළ හැකි, මැදිවියේ කාන්තාවකි. ඇගෙන් තාරකාට ගමේ විස්තර බොහොමයක් දැන ගත හැකි විය.

"වැඩි බජනෙට නං යන්න එපා නෝනා ඕකුන් එක්ක"ඇය නිතර කිවාය. කොහොමත් පුතා සමග දවසම කාර්‍යබහුල වන තාරකාට ගමේ අය හා කතා බහ කරන්නට අවස්ථාවක් එන්නේ ඉතා කළාතුරකිනි.මාසයටම ඕනෑ බඩු මුට්ටු එකවර නගරයේ සුපිරි වෙළඳසැලෙන් ගෙනෙන නිසා තාරකා ගමේ කඩයකටවත් ගියේම නැති තරම්ය.

            නිතර නිවාඩු නොඉල්ලන සුමනා මෙවර  දවස් හතරක නිවාඩුවක් ඉල්ලයි. ඇගේ දුරක සිටින එකම අක්කා අසනීපෙනි.නෝනාත් බබාත් තනියම දමා එසේ යාම සුමනාටත් හිතට හරි නැති වුවත් සහෝදරකම නොසලකා සිටිය නොහැක.

දවස් හතරකින් ගමට එන සුමනා හන්දියේ කඩේට ගොඩ වැදුනේ ගමන් වෙහෙස නිවා ගැනීමටත් ගත වූ දින කීපයේ විශේෂ ආරංචි ඇත්නම් දැන ගැනීමටත්ය.

"ආ සුමනො......නෑගම් ගියාද?"

 ඇයට කලින් ම  මුදලාලි  කතා කළේය.

"අපේ අක්කා බලන්න ගියා මුදලාලි"

"සුමනා හිතලා ම ගියාද?නැත්නම් නෝනා යන්න කිව්වද?"

ඒ අහපු තාලයේ ඇදයක් දැනුන නිසා සුමනා විමසිලිමත්ව බැලුවාය.

"මොකද මුදලාලි එහෙම කිව්වෙ?"

"නෑ.....මේ දවස් ටිකේ නෝනාට හරි වැඩ"

"අප්පේ නෝනාගෙ නෑයෙක්වත් ඇවිල්ලද?බබාත් එක්ක කොහොමද දන්නෙ නෑ උයල පිහලවත් දුන්නෙ"

"හහ් හහ් හා....ඔව් ඔව් පිරිමි නෑයෙක්  වෙන්න ඇති"

මුදලාලිගේ හරස් පද ප්‍රහේලිකාවෙන් නොරිස්සුම් සහගත වූ සුමනා නිවසට එන්නට හැරුණාය.

ටික දුරක් එද්දී ඇයට ගමේ රොයිටර් වූ නොන්නොහාමි මූණටම මුණ ගැසුනේ මග හැර යා නොහැකි ලෙසය.

" සුමනක්කේ බෑරක්වත් ගියාද?"

ඇය බොහෝ හිතවත්කමක් පා ඇසුවාය.

"අපේ අක්කා බලල එන්න ගියා " ඉතා පරිස්සමෙන් වචන පාවිච්චි කරමින් සුමනා කීවාය.

"කොහොමද නොන්නො මේ පැත්තෙ තොරතුරු ?"මුදලාලිගේ කටින් කියවුන දේ ගැන ඇගේ ද දායකත්වයක් ඇතැයි සිතුන නිසා සුමනා ඇසුවාය.

"ගමේ නං ඉතින් මොනව වෙන්නද අක්කෙ......හැබැයි අක්කා ඉන්න ගෙදර නං හරි හරි වැඩ වුණාලු"

ඇය රස කරමින් කීවාය.

"ඒ මොනවද බං?"

"මම නං කියන්නෙ අක්කෙ උඹත් දෙන ගාන ගැන නොහිතා ඔතනින් ගියා නං තමා හොඳ.නැත්නං උඹටත් උසාවි, පොලිසි ගානෙ යන්න වෙයි මේවා පත්තු වුණ දවසක"

"ඇයි ඇයි වත්තෙ කෙසෙල් කැනක්වත් හොරු කපල ද?"

ආරංචියක් දැනගත් පසු එය අගය කරවා ගන්නට නොන්නොහාමිගේ ඇති ආසාව දන්නා සුමනා බොහෝ උනන්දුවක් පෙන්වා ඇසුවාය.

නොන්නොහාමි ඇයට කිට්ටු වුනේය.

"උඹට කියන්න අක්කෙ, පෙරේදා හවස නවග්‍රහ පූජාවකට පාට මල් හොයාගෙන මං ඔය ගේ ගාවින් යද්දි ඉස්සරහ දොර වහලා.හැබැයි ගේ ඉස්සරහ පිරිමි සපත්තු ජෝඩුවක් තියෙනවා.මහත්තයාත් ඇවිත් ගියේ ළඟදිනෙ.මං හිමින් ම කිට්ටු කරල බැලුවා.ගේ ඇතුළෙන් කැකිරි පළන හිනාව....මං ගිහින් උගුර පාදලා දොරට තට්ටු කළා.හිනාව නැවතුනා.ටික වෙලාවක් බලා හිටියා. ම්හු....සද්දයක් නෑ.මං කෝකටත් ගේ වටින් ගිහින් බලන්න ඉන්දැද්දි දොර ඇරුණා.නෝනා ආවෙ අවුල් වෙච්ච කොන්ඩෙත් බැඳ බැඳ......

නොන්නොහාමි හිකිස් ගා හිනැහුනාය.

"මට මල් ටික කඩා ගන්න කියල ආයෙ ගිහින් දොර වහගත්තා.අපොයි දෙයියනේ මෙහෙමත් ගෑණු.....පව් නැද්ද අර මහත්තයා දුක් විඳ විඳ හම්බ කරනවා......"

"මං තාම එන ගමන් නොන්නො.ගිහින් එන්නම් එහෙනම්"

බබා කොයි වේලාවෙත් පාරට දුවන නිසා ඉස්සරහ දොර වසා තැබීම පුරුද්දකි.බබා ළඟදී සිට අම්මගේත් සුමනාගේත් කොන්ඩ වලට මෝස්තර දාන්නට පටන් අරන් ඇති නිසා කොන්ඩය අවුල් වී තිබීමත් පුදුමයක් නොවේ.හ්ම්...හ්ම්ම් කවුද ගෙදරට ආව පිරිමි කෙනා....සුමනාට නෝනා ගැන කිසිම අහිතක් නොහිතුණත් ඇය සිතිවිල්ලෙන් ගෙදරට ගියාය.

 Shanika Tennakoon

"ආනේ නෝනා වත්ත සුද්ද කළාද මේ හදිසියේ බබත් එක්ක?" ගෙට ඇතුල් වූ සුමනා වටපිට බැලුවාය.

"පුතා කොයි වෙලාවෙත් එළියට  පනින්නමයි හදන්නෙ සුමනම්මේ...පිටිපස්ස පැත්ත කැලේ වෙලා,සත්තු සර්පයෝ ඉන්නවද දන්නෙත් නෑ.වෙනදා පොල් කඩන්න එන මනුස්සයා පාරෙ ගියා.මං වත්ත සුද්ද කරන්න අඬ ගහගත්තා. මහත්තයගෙ පරණ සපත්තු දෙකකුත් දාගෙන ඔක්කොම සුද්ද කරල දුන්නා."

"වෙන කවුරුත් ආවෙ නැද්ද නෝනේ?"

" නෑ.ඇයි සුමනම්මේ......ආ....අර ඉස්සරහ පාරෙන් නිතර එහා මෙහා යන වයසක ගෑණු කෙනෙක් ඉන්නෙ තුවායක් කරේ දාගෙන.එයා ආවා අපලෙකට පූජා කරන්න පාට මල් හොයාගෙන. සුමනම්මා එපා කියල තියෙන නිසා ගෙට ගත්තෙ නෑ. වත්තෙන් තියෙන තරමක් කඩා ගන්න කිව්වා.කරේ තිබුණ තුවායත් අමතක වෙලා මල් ගහක් උඩ දාල ගිහින් මං අන්න පිළිකන්න පැත්තෙන් තිබ්බා හොයාගෙන ආවොත් දෙන්න"

සුමනම්මා යමක් තේරුම් ගත් ලෙසින් හිස වැනුවාය.

"නොන්නොහාමි.......මං ඉන්නකල්  අඩිය තියන්න බැරි වුනා ඕපදූප ටික හොයා ගන්න.බොරුවක් ගොතාගෙන වත්තට ආව ටිකට මදැයි හදල තියෙන කතාව.ඕකි තමා  ගමට ඉන්න ලොකු ම අපලෙ. මුදලාලියාත් නෝනලා එක්ක හොඳ නෑ කඩේට ණය නැති හින්දා. අප්පේ මේවා කවුරු හරි එක හතක් කරලා මහත්තයාගෙ කනේ තිබ්බොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ."

 ගෙවල් ගානේ යමින් නොසිතූ ගිනි අවුලවන නොන්නොහාමිට පාඩමක් උගන්වන විදියක් කල්පනා කරන ගොඩට සුමනා ද එකතු විය.

පහුවදා උදේම මිදුල අතුගාන්නට එළියට ආ සුමනා මුදලාලිගේ මෝටර් රථය ටවුමේ සිට එන හැටි දුටුවාය.එය පැදවූයේ සුමනාගේ නෑදෑ පුතෙක් වූ නිසා ඔහු එය ගේ ඉදිරිපස නවත්වා සුමනා හා හිනා වුනේය.

"කොහෙද සිරිමල් පුතේ උදේම ගියේ?"

"හාමිනේයි දූලා දෙන්නයි සිරීපාදෙ යන නඩයකට ඇරලවන්න ගියා නැන්දෙ"

"අනේ සාධු,සාධු. වාසනාවන්.මුදලාලි ගියෙ නැද්ද?"

ඕකා කොහෙද කඩේ වහලා එන්නෙ වැනි බැල්මක් හෙලා සිරිමල් වාහනය පණ ගන්වා ගත්තේය.

සුමනා විනාඩි දෙක තුනක් කල්පනා කර හිස ඉහළ පහළ වැනුවාය.

"වත්ත එළි කරගත්ත එකේ මොනව හරි ඉන්දවමු නෝනා.අපේ ගෙදරින් මං කහ,ඉඟුරු අල ටිකක් අරන් එන්නම්. මේ ඒවා වගා කරන කාලෙ"

එදා හවස සුමනා තාරකාගෙන් අවසර ගෙන තම නිවසට ගියේ පහුවදා පාන්දර ම එන පොරොන්දුවෙනි.

උදේ ම  කහ,ඉඟුරු අල පොදියක් හා බබාට පළතුරු මල්ලක් ද රැගෙන එමින් සිටි සුමනාට අසල්වැසි ගැහැණියක් වූ සුසිලා මුණ ගැසුනේය. සුමනා දුටු සැනින් ඇයට හිනා ගියේය.

"මොකද සුසිලො මගෙ මූණෙ මොනව හරි ගෑවිලාවත් ද?"

සුමනා කලබලයෙන් මුහුණ අත ගෑවාය.

"අනේ නෑ නෑ නැන්දෙ.මට එක පාර ම හිනා ගියා.නැන්දගෙ නෙවේ අන්න රොයිටර්ලා දෙන්නගෙම මූණු වල නං දැලි ගෑවිලා"

"කාගෙද සුසිලො.මොකද වෙලා තියෙන්නෙ?"

"ඊයෙ මුදලාලිගෙ පවුල වන්දනාවක ගිහින්.මේං අද උදේ කඩේ ඉස්සරහ පිල් කණ්ඩියේ නොන්නොහාමි කොහෙ යතත් කරේ දාන තුවාය තියෙනවා..."

"මොනව කිව්වා??"

"ඔව් නැන්දෙ මම දෑහින් ම දැක්කා.ගමේ ඔක්කොම අන්න කඩේ ළඟ.ගෙදර කවුරුත් නෑ තනියම ඉන්න බෑ කියල මුදලාලියා කඩේ නිදා ගනිද්දි කවුද දන්නෙ ඔහොම එකක්.දැන් හාමිනේ ආව ම තමා හොඳම ජල්ලිය"

සුසිලා හිනා වෙවී ම යන්නට ගියාය.

සුමනා බිමට හිනා වෙවී ඉදිරියට ගියාය.නෝනාට පිළිකන්නේ තිබූ තුවාය මතක නැතිව ඇතැයි ඇය සිතුවාය.

 

Comments

Post a Comment