මල් පැලය

 


            පියුමි සේවය කරන කාර්‍යාලයේ හේරත් මහතාගෙන් හිස් වූ තනතුරට ආවේ ඩල්සි මැඩම්ය. ඇය  කලින් ප්‍රධානියාගේ විරුද්ධ පැත්ත ලෙස ටික දිනකින්ම සේවකයෝ වටහා ගත්හ .

            හේරත් මහතා මොන දේ සිදු වුවත් තමන්ගේ ඔලුව බේරා ගැනීමට ප්‍රමුඛතාව දී සිටියේය.ඒ නිසා තීන්දු තීරණ නොගෙන එහාට මෙහාට මාස ගණන් ඇද ඇද තිබූ බොහෝ දේවල් වලට ඩල්සි මැඩම් නොවළහා මැදිහත් වූවාය.ඔහු ලියුම් දහයක් පමණ එහා මෙහා යවමින් පල් කළ දේවල් සිදු කිරීමට ඇය දෙන්නේ  දුරකථන ඇමතුම් කීපයක් පමණි.

            ඇගේ මේ ලක්ෂණයට  කැමති වීමට නම් බොහෝ දෙනෙක්ට හැකි වුවත් ඇයත් සමග වැඩ කර ලේසියෙන් බේරෙන්නට බැරි බවත් බාර දුන් වැඩක් නිවැරදිව අවසන් කර මිස නිවාඩුවක් ගැනීම හිතන්නටවත් බැරි බවත් ටික දිනකින්ම පෙනී ගියේය.ඇය කිව්වොත් කිව්වාමය.ඉන් එහා වචනයක් කියන්නෙක් නැත. ඇයව යකඩ ගැහැණියක් ලෙස හැඳින්වීමට වැඩි කල් ගියේ නැත.

            කිසිදා රාජකාරියෙන් පිට පුද්ගලික දේ ගැන වචනයක්වත් කතා නොකරන ඇය අනෙක් අය ද රාජකාරිය හා නිවස පටලවා නොගත යුතු බව තරයේ අවධාරණය කළාය.ඇගේ මෙවන් ගති නිසා හේරත් මහතා යටතේ නිවී සැනසිල්ලේ කැමති කැමති ලෙස කාර්‍යාලයේ සැරිසැරූ කීප දෙනෙක් ම සිටියේ හිත් නොහොඳිනි.

            හැමදාම නවීන මෝටර් රථය තමන්ම පදවාගෙන හරි වේලාවටම එන ඇය සුපිරි නිවසක තනිව ජීවත් වන බවත් ඇය හැර එහි සිටින්නේ සේවක සේවිකාවන් කීප දෙනෙක් පමණක් බවත් ආරංචි විය.

"ඔහොම යස්ස ගෑණු එක්ක පිරිමි ඉඳීද බං"

ඇය විවාහක ද අවිවාහක ද වැන්දඹු ද දික්කසාද ද කිසිවක් නොදැන සිටියත් කතා මවන්නන්ට එය ප්‍රශ්නයක් නොවේ.

---------Shanika Tennakoon------------

සති අන්තයේ පැවති මල් ප්‍රදර්ශනයක් නැරඹීමට පියුමි ගියේ පෙම්වතා සුරන් සමගය. මල් වලට අමතරව ඒ ප්‍රදර්ශනයේ සුරතල් සතුන් ඇතුළු බොහෝ දේ විකුණන අංශ තිබුනි.එක් තැනක නතර වූ සුරන් ඈත බැලුවේය.

"ඔයාලගෙ ඩල්සි මැඩම් නේද අර"

පියුමි ද ඔහු පෙන්වූ දෙස බැලුවාය.

කාර්‍යාලයේ සිටින දරඳඩු ගැහැණියට සම්පූර්ණයෙන් වෙනස් ප්‍රියමනාප කාන්තාවක් සිනාසෙමින් සුරතල් බලු පැටියෙක් තෝරයි.

"ඔව්මයි.එයාගෙ ඔහොම මූඩ් එකක් දැක්කමයි..ඔය සත්තු හරි ගණං නේද?"

"නැතුව.සතා විතරක් නෙවේ ඒකාට කන්න බොන්න බේත් හේත් හෙමත් සෑහෙන වියදම් "

"හ්ම්......ඔහොම වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට බඩු මල්ලක් අරන් දුන්නා නම් ඒ මනුස්සයා සතියක් කයි"පියුමි කට ඇද කළාය.

"මිනිස්සු වැඩි දෙනා නැති බැරි අයට උදව් නොකරන්නෙ කුහකකමට, අමනුස්සකමට නෙවේ පියුමි" සුරන් කල්පනාකාරී ව කීවේය.

"එහෙනම්"

"එහෙම එක පාරක් උදව්වක් කළාම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඒ මනුස්සයා තමන්ට උදව් කරන්නම බැඳිල ඉන්නව වගේ. හැමදාම ඒ උදව්ව බලාපොරොත්තු වෙනවා.නොකලොත් අර කරපු උදව්වෙ අගයවත් නෑ"

"අපෝ ඒක නම් ඇත්ත.අපි ඉස්සර හිටිය ගෙවල් ගාව දුප්පත් පවුලක ළමයෙක් ඉස්කෝලෙට දාද්දි අපේ අම්මා පව් කියල පොත් ටික අරන් දුන්නා. පස්සෙ කාලෙක ඒ ගෙදර අය රස්සාවල් කරන්න ගත්තත් අපි එහෙන් එනකල්ම දෙසැම්බර් මාසෙට ඒ අම්මා ළමයගෙ පොත් ලිස්ට් එකත් අරන් අපේ දිහා එනවා.අන්තිමට යුනිෆෝම් රෙදි, සපත්තු මේස් වලටත් අම්මගෙන්  සල්ලි ඉල්ල ගත්තා. අපි නම් බනිනවත් එක්ක. අපේ අම්මා ඉගෙන ගන්න ළමයෙක් නේ කියල උදව් කළා."පියුමි අතීතය සිහි කළාය.

"මැඩම්ගෙ ෆොටෝ එකක් ගන්න විදියක් නෑනෙ මෙහෙම බල්ලො හුරතල් කර කර ඉන්න හැටි. ඔයාලගෙ ඔෆිස් එකේ අය බනිනවා නේද හිතක් පපුවක් නැති යකඩ ගෑණියෙක් කිය කිය"සුරන් අඩ හිනාවකින් ඇසුවේය.

"ඒ උන්ට අයිස් ගහන්න දෙන්නෙ නැති නිසා.......හැම කෙල්ලෙක්ගෙම හිත මල් පැළයක් වගේ.ඒත් සමහරු තමන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න,තාඩන පීඩන එක්ක ඒ මල් පැලේ වටේ ලොකු යකඩ තාප්පයක් බැඳ ගන්නවා.ඊට පස්සෙ හැමෝටම පේන්නෙ ඒ යකඩ තාප්පෙ විතරයි........"පියුමි දාර්ශනික ලීලාවෙන් කීවාය.

"හැබැයි ඒ යකඩ තාප්පෙ ඇතුලෙ තියෙන මල් ගහේත් ලස්සන මල් පිපෙනවා...."

මං හරි නේදැයි අසන බැල්මකින් සුරන් ඇසුවේය.

"හ්ම්ම්ම්.....ඔව්.ඒ වගේ මල් ගස් වලටත් ඉර එළිය,වැස්ස,හුළඟ හැමදේම ඕන.යකඩ තාප්පෙ අස්සෙන් මල් ගහ දැකල ඒකට ඒ දේවල්  ඕන ගානට ලබා දෙන්න පුළුවන් ඒ වගේම ලස්සන හිතක් තියෙන කෙනෙක්ට විතරයි."

පියුමි සුරන්ගේ අතේ එල්ලී කීවාය.

---------Shanika Tennakoon------------

Comments