සුවඳ

 සුනිලා ගුරුතුමිය තමන්ගේ තිස් වසරක ගුරු දිවියේ සුන්දර තැන් පොතක් ලෙසින් එළි දැක්වීමට සිතුවේ හැමදාමත් ඒ කතා අසා සිටින දූලා දෙන්නාගේ පෙළඹවීමටය.

"පොතක් ලියන්න තරම් දේවල් නෑ ළමයිනේ" ලෙස මුලින් අදි මදි කළත් ලියාගෙන යද්දී සුවිශේෂී ම සිද්ධි පවා මහා පුස්තකයකට තරම් විය.ඒ නිසා පළමු පොතේ සාර්ථකත්වය බලා අනෙක් කතා ඊළඟ පොතට ඇතුලත් කරන්නට තීරණය විය.අද ඒ පොත එළි දක්වන උත්සවයයි.

"අම්මා අර පරණම පර්ෆියුම් කතාව දාලා නෑනෙ"පොත එහෙන් මෙහෙන් පෙරලා බැලූ ලොකු දුව ගීත්මා කීවාය.

"මොකක්ද අම්මා ඒ කතාව?" එවැන්නක් අසා නැති පොඩි දුව සනිත්මා ඇසුවාය.

"ඕන රස්සාවක රස කතා නීරස කතා තියෙනවානෙ.මේක නීරස කතාවක්"සුනිලා උනන්දුවකින් තොරව කීවාය.

"ආපෝ වැඩක් නෑ.......ඔයා ඒකවත් දන්නෙ නැද්ද?"ලොකු දුව කට ඇද කරමින් කීවේ නංගී අවුස්සන්නටය.

" රණ්ඩු නොකර ඉන්න ළමයිනේ" මව ඇය වළක්වා පොඩි දුව දෙසට හැරුණාය.

"අපි ට්‍රේනිං කොලෙජ් ඉන්න කාලෙ ලෙක්චරර් කෙනෙක් කිව්වා ඔයාල කණ්නාඩියටයි බස්ටෑන්ඩ් එකේ මිනිස්සුන්ටයි පේන්න කොයි තරම් හැඩ වැඩ වෙලා ගියත් පන්තියට යන්නෙ කොණ්ඩෙ අවුල් වෙලා, මූණෙ දාඩිය බේරීගෙන,ඇඳුම් පොඩි වෙලා නම් ළමයින්ට  විෂය එපා වෙන්න ඒකත් ඇති ඒ නිසා පන්තියට යද්දි උදේ කණ්ණාඩිය ගාවදි වගේම පිළිවෙලට යන්න කියල.....අපි ඉතිං වත්කමේ හැටියට පව්ඩර් එකක්, පොඩි කණ්නාඩියක්,පනාවක්, ලිප්ස්ටික් එකක් බෑග් එකේ තියා ගත්තා. පන්තියට යන්න කලින් පොඩ්ඩක් පිළිවෙල වෙන්න.ඉස්කෝලෙ අනික් ගුරුවරු නම් ඕකට එක එක දේවල් කිව්වා.........ඔය කාලෙ ඔයාලගෙ තාත්තා රට හිටියෙ. මට ගෙනත් දීලා තිබුනා හුරුබුහුටි පර්ෆියුම් එකක්.මං ඕකත් හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්නෙ. දවසක් උදේම පන්තියට යන්න ලෑස්ති වෙද්දි පණිවිඩයක් ආවා හදිසි ගුරු රැස්වීමක්. ඒ කාලේ හිටිය ප්‍රින්සිපල් හරිම සැරයි.ඒ නිසා අපි කලබලෙන්ම ගියා.මට බෑග් එකෙන් ගත්ත බඩු ආයෙ දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.

               රැස්වීම ඉවර වෙලා ඇවිත් බලද්දි මට මොකක් හරි අඩුවක් පෙනුනා....මගෙ පර්ෆියුම් එක නෑ.මං හෙව්වා වට පිට  ළඟම හිටි කීප දෙනාගෙනුත් අහ අහ. ආරංචිය පැතිරුනේ ගිනි අරන් වගේ...... ටීචර් කෙනෙක්ගෙ බෑග් එකෙන් හොරකම් කරලා.........අනිත් ටීචර්ස්ලා එයාලගෙ බෑග් අදිනවා තව මොනවද නැති උනේ බලන්න.සමහරු මෙච්චර කල් එයාලා මට කිව්ව දේවල් ස්ථිර කරනවා.විනය බාර සරුයි ප්‍රින්සිපල් සරුයි යකා වෙලා ආවෙ.හයෙන් උඩ ඔක්කොම ළමයින්ගෙ බෑග් පරීක්ෂා කරන්න ගත්තා. නිකන්  නෙවේ හරිම සැරෙන් බණිනවා.එයාලට සැක වගේ හිතෙන ළමයිව ළඟට ගෙන්නලා තරවටු කරන්න ගහන්න බණින්න තර්ජනය කරන්න පවා පෙළඹුනා. වෙච්ච පාඩුවටත් වඩා ඒ දේ බලා ඉන්න බෑ මට.

මොනව කළත් පර්ෆියුම් එක හම්බ වුණේ නෑ.ඒත් ළමයින්ට කරන අඩන්තේට්ටම් ඉවසන්න බැරි තැන මං කිව්වා ඒක මට ගේන්න අමතක වෙන්න ඇති කියල. හ්ම්.....ඊට පස්සෙ කාලයක් යනකල් මට ගුරුවරුන්ගෙන් ළමයින්ගෙන් ලැබුන ප්‍රතිචාර හිතා ගන්නකෝ......මගෙ ගුරු ජීවිතේ තදින් ම හිතට වැදුණ මුල් ම සිද්ධිය ඒ.ඒත් එහෙම කතාවක් කොහොමද පොතකට දාන්නෙ......"

"ඒත් අම්මට පර්ෆියුම් එක හම්බ වුණේ නෑ නේද?ඉතිං පාඩුත් විඳගෙන ඔය හොරු ගොඩේ හිටියෙ කොහොමද?"

සනිත්මා නැවත ඇසුවත් "මෙන්න අම්මගෙ ගෝලයෙක් ඇවිත්"කියාගෙන ගීත්මා ආවෙන් ඒ කතා බහ එයින් නතර කරන්නට සිදු විය.

සුනිලා ඔහුට මුහුණ දෙමින් හඳුනා ගන්නට උත්සාහ කළාය.

"මිස්ට මාව මතක නැතුව ඇති.මිස් මුලින්ම වැඩ කරපු ඉස්කෝලෙ මං......"

"ආ අර හොරු ඉන්න ඉස්කෝලෙ ද?" ඔහුට කතාව අවසන් කරන්නට නොදී අම්මා පිටිපසින් ම ආ සනිත්මා  කීවාය.

"දුව!!"

සැරෙන් කියා අම්මා තරුණයා සමග ශාලාවෙන් එළියට ආවාය.

"ඕව ගණන් ගන්න එපා පුතා.ඔය කෙල්ලගෙ කට ඔහොම තමයි.පොඩි සිද්දියක් නිසා ඉස්කෝලෙටම ලේබල් ගහලා"

"මට ඒ සිද්දිය මතකයි මිස්........මමයි ඒ පර්ෆියුම් එක ගත්තෙ"

සුනිලා විදුලි සැරයක් වැදුණ ලෙස ඔහු දෙස බැලුවාය.තරුණයා එය නොදුටු ලෙසින් ඈත බලාගෙන කතා කරයි.

------------Shanika Tennakoon------------

"මගෙ තාත්තා නැතිවෙලා තියෙන්නෙ මට මාස ගාණෙන්.මාව ඉස්කෝලෙට බාර දීලා ආච්චි ගාව තියලා අම්මා රට රස්සාවකට ගියා.ආච්චිට තනියෙන් මාව ආන්බාන් කරන්න බෑ.මං මහා හිතුවක්කාර  විදියට හැදුනෙ. ඉස්කෝලෙ ළමයි එක්ක රන්ඩු කළා. ගැහුවා.හිරිහැර කළා.හැමදාම නඩු.කිසි ළමයෙක් මගෙ ගාව ඉඳ ගත්තෙ වත් නෑ.ගුරුවරුන්ටත්  මාව මහ හිසරදයක්...............

මං තුනේ ඉන්න කාලේ අම්මා රට ඉඳන් ආවා.ආයෙත් ගියා.එදායින් පස්සෙ මං අම්මා ගැනත් දන්නෙ නෑ..........මගෙ මුරණ්ඩුකම් තව වැඩි වුණා.ආච්චි මාව බලෙන් ඉස්කෝලෙ පිටත් කළාට මට ඒක අපායක්.

හයේ ඉන්නකොට ආව අලුත් පීටී සර් මාව බලෙන් ම ස්පෝර්ට්ස් වලට ඇදල දැම්මා.ඒක තමා මගෙ ජීවිතේ වෙනස් කළේ.මගේ ජවය සම්පූර්ණයෙන් මං ස්පෝර්ට්ස් වලට දුන්නා.ඒකෙන් උන අනිත් යහපත තමා පන්තියෙ ඉන්න ඕන නෑ.මොනව හරි ප්‍රැක්ටිස් කියල පනින්න පුළුවන්.අවුරුද්දකට සැරයක් තමන්ගෙ නිවාසෙට,ඉස්කෝලෙට හොඳ තැනක් ගේන නිසා ගුරුවරුත් මගෙ නම ඔහේ තියෙන්න ඇරියා.

               මිස් මුලින්ම අපේ පන්තියට උගන්වන්න ආවෙ මං අහම්බෙන් පන්තියේ හිටිය දවසක.එදා මට මිස්ගෙ සාරියෙන් දැනුනෙ රට ඉඳන් ආ වෙලාවෙ මගෙ අම්මා ළඟින් ආව සුවඳ......"

තරුණයා මඳක් නවතා උගුර පාදා ගත්තේය.

"එදා ඉඳන් මං මිස්ගෙ පීරියඩ් එකේ කොහොම හරි පන්තියෙ හිටියා.ඔය සිද්ධිය වුණ දවසෙත් මිස් එන්න හිටියෙ අපේ පන්තියට.මං උදේම ප්‍රැක්ටිස් කරල පන්තියට දුවගෙන එන ගමන් ස්ටාෆ් රූම් එක දිහා බලාගෙන ආවෙ. මිස් ආවද බලන්න.කවුරුත් හිටියෙ නෑ. ඒත් මිස්ගෙ බෑග් එක ළඟ අර පර්ෆියුම් එක තියෙනවා දැක්කම මට මොකක් උනාද මන්දා.....ඒක හොයන්න ප්‍රින්සිපල් සරුයි විනය බාර සරුයි අහිංසක ළමයින්ට බැණ බැණ මහ යුද්ධයක් කරද්දි මං ඉදිරිපත් නොවුණේ තක්කඩිකමකට නෙවේ.ඕන නම් මාව ඉස්කෝලෙන් අස් කරයි. පොලිසියටත් අල්ලලා දෙයි.ඒත් මට ඒ සුවඳ ආයෙ බාර දෙන්න හිත හදා ගන්නම බැරි වුණා.අන්තිමට මිස් ඒක අද ගෙනාවෙ නෑ කිව්වම මට මහා වරදකාරී හැඟීමක් දැනුනෙ....."

"දැන් පුතා කොහෙද ඉන්නෙ?මොනවද කරන්නෙ?"අපහසුතාවයෙන් මිදීමේ අදහසින් සුනිලා ඇසුවාය.

"මං පදිංචි ජපානේ මිස්.මිස් නිසා......මිස් ළඟ තිබුණ සුවඳ නිසා කවදාහරි හිරේ යයි කියල අනාවැකි කිව්ව මං අද ලංකාවට වාහන ගෙන්වන කම්පැනි එකක් කරනවා.ඒ පර්ෆියුම් බෝතලේ තාමත් මං ගාව පරිස්සමෙන් තියෙනවා මිස්"

*************

"ආ මෙන්න අම්මා ඊළඟ පොතත් ලියන්න අරන්.රස වැටිලා වගේ ලේඛන කලාවට"

පසුදා පාන්දර ම මේසයට වාඩි වී සිටින අම්මා ළඟට එමින් ගීත්මී කීවාය.

"ආ මේ අර නීරස මතකය නේද ලියන්නෙ?"ලියමින් සිටි දේට එබිකම් පා ඇය ඇසුවාය.

"ඒක නීරස අතීතයක්.සුවඳ වර්තමානයක්"

අම්මා සිනාසී කීවාය.

 Shanika Tennakoon



 

Comments