රූමා

"මචං උඹ අද සුදත් ගෙ බර්ත්ඩේ පාටියට යනවද?"කලබලයෙන් කාමරයට ආ නිපුන ඇසුවේය. 

"යන්න වෙන්නෙ නෑ බං හෙට මේ රිපෝට් එක බාර දෙන්න තියෙනවා" ලැප්ටොප් තිරයෙන් ඇස් ඉවතට නොගෙනම සහේන් කීවේය. 

"එහෙනම් උඹේ මේ ශර්ට් එක මම ඇඳගෙන යනවා."

 සහේන් මොහොතක් ගල් ගැසී සිට ආපසු හැරුණේය.ඒ වෙද්දීත් නිපුන එහි බොත්තම් දමයි.

 "අනේ මචං ඕක මං කසුනාගේ හෝම් කමින් එකට අඳින්න තිබ්බේ.උඹ මගෙ නිල් එක ගනිං" 

"රෑ ෆන්ශන් එකකට  නිල් හරි යන්නෙ නෑ බං.හෝම් කමින් එකට තව දවස් තුනක් ම තියෙන්නෙ" නිපුන කණ්ණාඩිය ඉදිරියේ වටයක් කැරකී පිටව ගියේය. 

සහේන් වැඩ නවත්වා නැගිට්ටේය. ඔහුගේ සිතේ ඇති වූ නොරිස්සුම කෝපයක් දක්වා වර්ධනය වෙමින් තිබිණ. නිපුනගේ සහේන්ට ඉවසන්නටම බැරි ගති ගුණය මෙයයි. 

"අපිත් ගජේ ගහනවා තමා.ඒත් මූ කරන්නෙ මංකොල්ලකෑමක්" ඔහුට යහළුවෝ කී දේවල් පේළියට මතක් විය.

 "ඉන්ටවීව් එකට යන්න පොලිශ් කරපු සපත්තු දෙක දාගෙන මූ කෙල්ල බලන්න ගිහින්.මං ගොනයි මීමයි වගේ කළු කලිසමට දුඹුරු සපත්තු දෙකක් දාගෙන ගියේ"

 "මං අලුතෙන් ගත්ත ශර්ට් එක මට කලින් ඔෆිස් එකට ඇඳලා.මං ඒක ඇන්ද දවසෙ අර හැකර සිරිලා කියනවා ආ මං ඈතට හිතුවෙ නිපුන මහත්තයා කියලලු" 

මේ නිසා කිසි කෙනෙක් නිපුන සමග එක කාමරයක තබා එකම බෝඩිමක ඉන්නට වත් කැමති නැත.නමුත් පඩියෙන් කර ගන්නට දේවල් බොහොමයක් තිබීම නිසා කාමරයකට වියදම් කිරීම පහසු නැත. කලින් හිටි කුකුල් කූඩු වැනි කාමර හා සැසඳීමේ දී මේ කාමරය දාහෙන් සම්පතකි. 

"ඔයා ඕන කෙනෙක්ගෙ දෙයක් එයත් එක්ක බෙදා ගන්න.මං අරන් දුන්න ඒවා විතරක් දෙන්න යන්න එපා. "

 නිපුන ගැන හසින්දි ද තරහින් කියයි. නිපුන මේ ඇඳගෙන ගියේ හසින්දි ගිය මාසේ තමන්ගේ උපන් දිනයට දුන් තෑග්ග බව මතක් වූ සහේන් දිග සුසුමක් හෙළුවේය. පහුවදා එළි වෙද්දී ගිනි ඇවිලී තිබුණේය. වෙනදා එන ගුඩ් මෝනින් මැසේජ් එක වෙනුවට හසින්දි එවා තිබුණේ "ඔයාට පාටියට යන්න බැරිවුන නිසා ද ශර්ට් එක යැව්වේ" ලෙසය.ඒ සමග ඇය එවා තිබුනේ ෆේස්බුක් එකේ පළ කර තිබූ නිපුන හා රසාරි සාදයේදී එක් ව ගත් ඡායාරූපයකි.රසාරි ඇඳ සිටින්නේ සහේන්ගේ කමිසයට ගැලපෙන පාට ගවුමකි. නිපුන හදිසියෙන් මෙන් ඇඳගෙන ගියත් ඔහු කළින් සිටම ඒ කමිසය අඳින්න හිතාගෙන හිටියා දැයි සහේන් හිතුවේය.

 ********** Shanika Tennakoon---------------

උදේ පාන්දරම ෆේස්බුක් එකේ දුටු ඡායාරූප නිසා සහේන් සමගත් රණ්ඩු අල්ලා හොඳම මිතුරිය පියුමි හා සිය වරක් එකම කතාව කියා ඇතත් හසින්දි හිටියේ තාමත් තරහෙනි. එක අතකට සහේන් ද අසරණය. නගරාසන්නයෙන් යම් තරමක පහසුකම් ඇති තනි කාමරයකට වියදම් කළ නොහැකි නිසා මිසක් ඔහුටත් නිපුනගෙන් ගැලවෙන්නට ඉතාමත් ඕනෑකමක් ඇත. 

"ඩ්‍රෙස් කෝනර් එකට අළුත් බතික් අයිටම් ටිකක් ඇවිත්.ලන්ච් එකේ ගිහින් එමු?" පියුමි ඇගේ කල්පනාව බිඳ දමමින් ඇසුවාය. "මට ඕනැති බතිකයක් නෑ" හසින්දි තරහින් ම කියා දැම්මාය. 

"මගෙ තනියට යමංකෝ. මෙතන පුපුර පුපුර ඉන්නෙ නැතුව" 

පියුමිගේ බල කිරීමට ආවත් හසින්දි කිසිම ඇඳුමක් දෙසවත් නොබැලුවාය. වටපිට බලමින් සිටිද්දී අඳුනන මුහුණක් දැක්කෙන් ඇය පිරිමි ඇඳුම් අංශය පැත්තට ඇදුනාය. රසාරි කමිස කීපයක් එකිනෙක සසඳමින් සිටියාය. 

"බතික් ශර්ට් නේද?"

 "ඔව් අනේ,නිපුනලගෙ ඔෆිස් එකේ අවුරුදු උත්සවයක් තියෙනවාලු මේ පාර"රසාරි එවිටම එතැනට ආ පියුමි සමගත් සිනා සී උත්තර දුන්නාය.

 "මේ සැරේ අවුරුද්දට අඳින්න තියෙන්නෙ නම් කහ පාට ද කොහෙද" පියුමි ඇය බලමින් සිටි කහ රතු කළවම් කමිසයක් දෙස බලමින් කීවාය. 

"ආ මේ ශර්ට් සයිස් එක නිපුනට හරි යන්නෙ නෑ.එයාට හරි යන්නෙ අඳින්නෙ 15 1/2" රසාරි තෝරා තිබූ කමිසයක් අතගා බැලූ හසින්දි කීවාය. රසාරිගේ හිනාව අතුරුදහන් විය.ඇය කුතුහලයෙන් හසින්දි දෙස බැලුවාය.

 "ඔයා කොහොමද නිපුනගේ කොලර් සයිස් එක දන්නෙ?"

 "ඇයි ඔයා දන්නෙ නැද්ද. නිපුන ගොඩක් දවසට සහේන්ගෙ ඇඳුම් නෙ අඳින්නෙ. ඊයෙ පාටියට ඇඳල තිබුනෙත් සහේන්ට මං බර්ත්ඩේ එකට අරන් දුන්න ශර්ට් එක. සහේන් අඳින්නෙ  කොලර් සයිස් 15 1/2."

------------ Shanika Tennakoon---------------



Comments