get them together

 ඉහළ පෙලේ බාලිකා පාසලක ආදි ශිෂ්‍යයාවන්ගේ සුහද හමුව මෙවර එය පැවැත්වෙන්නේ නගරයට අලුතින් එක් වූ තරු හෝටලයකය. මේ පිරිස පාසලෙන් සමුගෙන අවුරුදු දොළහකි.ඒ නිසා ඔවුන් හෝ ඔවුන්ගේ සැමියන් ඉහළ රැකියාවල, ව්‍යාපාර වල නියැලෙන සමාජයේ ඉහළ ස්ථරවල රැඳුන පිරිසකි.සියලු දෙනා ම එකිනෙකාට නොපරදින සේ ඇඳුම් පැළඳුම් යාන වාහන අද දවසේ ප්‍රදර්ශනය කර සිටිති. 

සංවිධායක මණ්ඩලය මේ හෝටලය තෝරා ගැනීම ගැන සැමදෙනා සිටියේ ප්‍රසාදයෙනි.අලුතෙන් ඇරඹුන නිසා මෙයට මීට කලින් ඒමට බොහෝ දෙනෙක්ට අවස්ථාව ලැබී නොතිබිණි. මෙතෙක් කල් මෙවන් සමාජ තලයක පිරිසකට  උත්සව පවත්වන්නට හැකි ශාලා නගරයේ තිබුණේ දෙක තුනක් පමණි. ඒවායේ ඔවුහු උත්සව ගණනාවක් පවත්වා ඇති නිසා දැන් ඒවා අගයෙන් අඩුය.ඒ නිසා ඔවුහු මෙහි විවිධ ශාලා,මිල ගණන්,කෑම බීම, සේවාවන් ආදී සියලු දේ ගැන සොයා බැලූහ. තවමත් අවිවාහක ව සිටි දෙතුන් දෙනාද  හෝටලයේ තමන්ගේ විවාහය පැවැත්වීමට සුදුසු ශාලා හා වෙඩින් පැකේජ් ගැන විස්තර සෙවූහ. 

නිරූපා විවාහ ව සිටියේ හෝටලයේ කළමනාකරු සමගය.පාසල් කාලයේ පටන් ම අනෙක් අයට වඩා අඩි ගාණක් ඉහළින් ඉන්නට හැමවිටම උත්සාහ කළ ඇය මේ වෙලාවේදී ද හෝටලයට ලැබුණ තත්ත්වය නිසා සිටියේ පොළවෙන් බොහෝ උසකය.සමහරු ඒ නිසා ඇය විවාහ ව සිටින්නේ හෝටලයේ අයිතිකරු සමග වෙන්නට ඇතැයි කියා ද සිතූහ. 

"කවුද අර චාරිකා ගාව ඉන්න ලේඩි?"

වටපිට සැමගේ අවධානය තමා වෙත ඇද ගනිමින් තමන්ට වඩා උසස් කෙනෙක් මෙතන නැති බව පෙන්වාගෙන සිටි නිරූපා පාසල් කාලයේ පටන්  තවමත් තමන්ගේ පුද්ගලික සහායිකාව සේ පසුපසම දැවටී ඒ රශ්මියෙන් දිලෙන්නට උත්සාහ කරන සාරදාගෙන් ඇසුවේ නොපහන් සිතිනි. සාරදා ඒ දෙස බැලුවාය. සංවිධායක මණ්ඩල සාමාජිකාවක් වූ පුද්ගලික ආයතනයක විධායක රැකියාවක් කරන චාරිකා ඉතා හිතවත්කමින් තවත් කාන්තාවක් සමග කතා කරමින් සිටියි. 

"ආ ඔයාට අඳුරන්න බැරිද.ඒ අර එරන්දි නෙ"

 "මොන?"තමන් ගැන වගක්වත් නැති කාන්තාවන් දෙදෙනා ගැන උපන් නුරුස්සමින් නිරූපා ඇසුවාය. "අර...අර....ඒ ලෙවල් ඉවර වුන දවසේ කොල්ලෙක් එක්ක පැනල ගියේ.පව් ඒ අංකල් හරිම හොඳ කෙනෙක්.අපේ තාත්තාගෙ හොඳම යාලුවෙක්. මෙයාලටත් පිස්සු මේ වගේ අයට මේවට එන්න දෙන්න" "මොකක්?එහෙම එකියක් මෙතනට ගේන්න අපි මොක්කු කියල හිතලද. මේ හොටෙල් එක මුඩුක්කුවක් වගේ පෙනිලද?" නිරූපා වේගයෙන් ඒ පැත්තට ගියේ සාරදා වචනයක්වත් කියන්නට පෙරය. 

"එක්ස්කියුස් මී චාරිකා" නිරූපා වහා ඇයගේ අතින් අල්ලා තමන් දෙසට හරවා ගත්තාය. 

"ආ ඔව් නිරූපා?" චාරිකා සිනාසී ඇය දෙස බැලුවාය.

 "ඒ ලෙවල් කරන්න ආව නිසා ඔයා දන්නෙ නැතුව ඇති අපේ ඉස්කෝලෙට තියෙන රෙපියුටේෂන් එක.ඒත් ඔයාට නිකමට හිතන්න තිබුණා  මොන වගේ මිනිස්සු ද මෙතනට අද එන්නෙ කියලා" නිරූපා උස් හඬින් හා වේගයෙන් කියාගෙන ගියේ අවට වෙනත් කතා හිනා වල සිටි අයගේ ද අවධානය ඇද ගනිමිනි. 

"ඇයි මොකක්ද ප්‍රශ්නෙ?" ඇය කළ චෝදනාවේ දරුණුකමින් මූණ රතු වී ගිය චාරිකා වහා ඇසුවාය. "ඉස්කෝලෙටයි පවුලටයි ලැජ්ජා කරල අවලමේ ගිය උන්ව වද්ද ගන්නවද මේ වගේ ස්ටාර් හොටෙල් එකකට.මෙහෙම ෆන්ශන් එකකට.හහ් දන්නව නම් මං හබීට කියනවා එන අයගෙ නේම් ලිස්ට් එකක් මුලින් ම ගෙන්න ගන්න.ඔයාට හුරු වුණාට අපිට බෑ තර්ඩ් ක්ලාස් උං එක්ක ආශ්‍රය කරන්න"

 මෙතෙක් බොහෝ විනෝදයෙන් හිනාවෙන් පිරී තිබුණ ශාලාවට බෝම්බයක් ගැහුවාක් වැනි විය. චාරිකා වහා එරන්දි දෙස හැරුණේ සමාව අයදින බැල්මකිනි. එහෙත් එරන්දි සන්සුන්ව ශාලාව හරහා ගොස් සෞම්‍ය සංගීතයක් වාදනය කරමින් සිටි සංගීත කණ්ඩායමෙන් මයික්‍රෆෝනයක් ඉල්ලා ගත්තාය.

 " ඔබ සැමගෙන් අවසරයි. ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක්  එක්ක පැනල යන එක මං කවදාවත් සාධාරණීකරය කරන්නෙ නෑ. ඒත් මං එහෙම කළේ ඇයි?කවුරුවත් දන්නවද? එරන්දි ශාලාව සිසාරා බැලුවාය.

 වෙන මොනවටද ඉතිං යන හැඟීම මූණු කීපයක ඇඳී තිබුණේය.

 .....මගේ තාත්තාගෙ හොඳම යාලුවා අලුත් බිස්නස් එකකට සම්බන්ධ කරගෙන තාත්තව සම්පූර්ණයෙන්  බංකොලොත් කරල දැම්මා. එරන්දි ශාලාවේ සාරදා හුන් පැත්ත දෙස තියුණු බැල්මක් හෙළුවාය. 

......අපේ ගේ වත් බැංකුවට සින්න වෙන එකෙන් වළක්වගන්න බැරි වෙද්දි ඒ කළ්‍යාණ මිත්‍රයා ම තාත්තාට ධනවත් බලවත් කෙනෙක් අඳුන්වල දුන්නා.එයා තාත්තගෙ ණය ටික ගෙවන්න උදව් කළා.හැබැයි සති දෙක තුනකින් අපෙන් දෙයක් ඉල්ලුවා ඒ හිලව්වට......කසාද දෙකකින් නීත්‍යානුකූලව අයින් වෙච්ච, රට පුරා නීත්‍යානුකූල  නැති බිරින්දෑවො ඉන්න බව ප්‍රසිද්ධ, මටත් වඩා වැඩිමල් දරුවො ඉන්න ඒ මහා බලවතාට විවාහ වෙන්න මං.....

 ශාලාව පුරා දොඹ ගෙඩි තරම් ඇස් යුගල ගණනාවක් පේන්නට විය.

 ..........මගෙ දෙමාපියන්ට කරන්න දෙයක් තිබුණෙ නෑ ඒ බලතල එක්ක. අන්තිමට තාත්තා මාව බදාගෙන ඇඬුවා පුතේ ඔයා යාළු වුණ ළමයෙක් ඉන්නවා නම් එයා ඔයාට ඇත්තටම ආදරේ නම් ඔය දෙන්නා කොහේ හරි ගිහින් ජීවත් වෙන්න කියල.මේ ලෝකෙ දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන් පැනල ගිය එකම කෙල්ල මං වෙන්න ඇති. ඉස්කෝල කාලේ පිරිමි ළමයෙක් දිහා හැරිලවත් නොබලපු මගෙ ආදරණීය යෙහෙළියනේ ඒ වෙලාවෙ ඒ නරුමයාගෙන් මාව බේර ගන්න, කෙල්ලක් නිසා තමන්ගෙ මුළු අනාගතේම බිලි දෙන්න අවුරුදු විසි දෙකේ රසිල්ට තිබුණ හයියට මං හැමදාම ණයගැතියි.

 ඔයාලා සැහැල්ලුවෙන් ඉහළට ඉගෙන ගනිද්දි අපි දෙන්නා ජීවිතේ ප්‍රශ්න එක්ක සටන් කළා. ඔයාලා යාළුවොත් එක්ක විනෝද වෙද්දි අපි දවසට එක වේලක් කාලා ආදායම් මාර්ග හෙව්වා.ඔයාල ලොකු ජොබ් වලට යද්දි අපි බිංදුවෙ ඉඳන් සියවරක් කඩා වැටි වැටි බිස්නස් ගොඩ නැගුවා.......ඔව් මට ඔයාලගෙ අධ්‍යාපන,රැකියා මට්ටමට එන්න බැරි වුනා.ඒ නිසා මාව ඔයාලගෙ සමාජයෙන් අයින් කරනවා නං ඒක මං පිළිගන්නම්. හැබැයි මේ හෝටලේට මට එන්න එපා කියන්න ඔයාලට බෑ.අවුරුදු දොළහක් මහන්සි වෙලා අපි දෙන්නා ගොඩ නංවපු ව්‍යාපාරය මේ නගරයේ ස්ථාපනය කරන පළවෙනි ස්ටෙප් එක තමයි මේ.අද මේ ෆන්ශන් එකට හෝල් එක නොමිලේ දෙන්නෙත් මගෙන් තෑග්ගක් විදියට.ඒ තෑග්ග පිළි ගන්න අයට ඉන්න පුළුවන්, නැති අයට.......

 කතාව අරඹද්දී සිටි අහිංසක බැගෑපත් තරුණිය වෙනුවට දැන් පෙනී සිටින්නේ බොහෝ  ධෛර්යයසම්පන්න ව්‍යාපාරිකාවකි. සියළු දෙනා ගල් ගැසී බලා සිටියහ. ඔවුන් අහසින් පොළවට ඇද වැටුන ගානය. 

ඒ සැනින් තම ප්‍රධානියා අපහසුතාවයට පත්ව ඇතැයි යන ආරංචියට ආරක්ෂක නිලධාරීන් ද සමග ශාලාවට කඩා වැදුනේ හෝටලයේ කළමනාකරුය.

 "ඇයි මැඩම්....මොකක්ද  ප්‍රශ්නෙ?" ශාලාව පුරා දෑස් යවන ගමන් ඔහු යටහත් පහත් ව එරන්දිගෙන් විමසා සිටියේය.

 "ප්‍රශ්නෙ මොකක්ද තීරණය වෙන්නෙ දේවින්ද ඒකට ගන්න විසඳුම අනුව තමයි. හැබැයි ඒක කිසිසේත්ම මට ප්‍රශ්නයක් නෙවේ."එරන්දි ආරක්ෂක නිලධාරීන් දෙස බලාගෙන කට කොනකින් හිනා වූවාය.

------------ Shanika Tennakoon---------------






Comments