වත්කම්

 


නිහාල් මුලින් ම රට  රැකියාවකට ගියේ  නිමාලිගේ දෙමාපියන් ඉදිරියේ නිකමෙක් යන තනතුරෙන් ගැලවීම සඳහාය.ඔහුගේ බලාපොරොත්තුව වූයේ වසර කීපයක් එහි සේවය කර සෑහෙන මුදලක් ඉතිරි කරගෙන ලංකාවේ ව්‍යාපාරයක් ඇරඹීමය.

නමුත් රට රැකියාවන්ට යන අයට සල්ලි ගස් මැවෙන බවට ඇති සමාජ මතයත් සමග මුල් අවුරුදු දෙකේ උපයාගත් මුළු මුදලින් ම වාගේ ජයට මඟුල් කන්නට සිදු විය.ඉන්පසු ඉඩම් ගන්න,ගෙවල් හදන්න, ගෙදරට බඩු මුට්ටු ගන්න, වාහනයක් ගන්න ආදී නොයෙක් දේවල් වලට වැය කරද්දී ව්‍යාපාර සිහිනය තවත් ඈතට ගියේය.

මේ ගෙවෙන්නේ නිහාල්ගේ පිටරට රැකියාවේ පහළොස් වන අවුරුද්දය.දුවට වයස දොළහකි.පුතාට දහයකි. එහෙත් තවමත් ඔහුට ලංකාවේ රැඳෙන්නට  මූල්‍යමය විකල්පයක් නැත.

"රට රස්සාවකට ගිය මිනිහෙක් ඒකටම සින්න වෙනවා මිසක් වෙන දේකට සෙට් වෙන්නෙ නෑ" යයි මුල් කාලයේම ඔහුට පිටරට රැකියාවටම වයස ගත කළ කෙනෙක් කී වචන ඇත්ත යයි දැන් දැන් සිතේ.

රට රැකියාවෙන් සිදු වූ හොඳම දේ කොහේ ගියත් පවුලේම අය වැනි යහළුවන් ඇති වීමය.නිවාඩුවට ආ විට චාරිකා යද්දී ඒ යාලුවන්ද දැක බලාගෙන යාම සියලු දෙනාගේ සිරිතය.

නිහාල් මෙවර නිවාඩුවට පවුලේ අය හා විනෝද චාරිකාව යද්දී එසේ හමු වන්නට යොදා ගත්තේ ඔහු හා දිගු කළක් සේවය කළ සමරසිංහවය. ඔහුගේ ගෙදරින් දවල් ආහාර ගෙන ගමනේ ඉතිරි ටික යාම සැලසුම විය.

දවල් දහය පමණ වෙද්දී සමරසිංහගෙන් ඇමතුමකි.

"ආ....සමරේ අපි තව පැයෙන් ඔය කිට්ටුවට එනවා"

"මචං මාර වැඩේ....වයිෆ්ගෙ අම්මට හදිසියේ අසනීප වෙලා දැනුයි ආරංචිය ආවෙ.අපි ඔක්කොම මේ තඹුත්තේගම යන්න හදන්නෙ"

"ආ.....ඇත්තද.හරි අපි මොනව හරි කර ගන්නම් එහෙනම්"

එකම නවාතැනේ සිටි කාලයේත් සියළු දෙනා මුදලින් සම්මාදම් වන දේකින් මොකක් හෝ කියා මග අරින සමරසිංහගේ ගෙදරින් කෑම වේලක් ගන්න හිතුණ තමන්ට පිස්සුදැයි සිතමින් නිහාල් ඇමතුම විසන්ධි කළේය.

දැන් ඉතිං දවල්ට කන්න තැනක් හොයන්න එපැයි.ඔහු කරදරකාරී සිතින් වෙලාව බලමින් පාර දෙපසට ඇස් යොමු කළේය.අවසානයේ  කඩ කිහිපයක් ළඟ ළඟ පිහිටි දියුණු වෙමින් යන කුඩා ටවුමක වාහනය නවතා ඔවුහු බිමට බැස්සහ.

"මේ නිහාල් අයියා නේද?"ඉන් එක් කඩයකින් එළියට එමින් සිටි කෙනෙක් ඔහු ඇමතුවේය.

නිහාල් විමසිල්ලෙන් බැලුවේය.

"අහ්....ජයන්ත මල්ලිනෙ.මෙහෙ කොහෙද?"

"මේ මගෙ ගමනෙ අය්යෙ.කොහෙද මේ යන්නෙ?"

"දන්නැද්ද මල්ලි ඉතිං නිවාඩුවට ආවා ම කොහේ හරි යං කිය කිය පොඩි අයගෙ කරුකුරුවනෙ"

"එහෙනම් අපේ ගෙදරට ගිහින් යමු.මං නාලිකාට කියන්නම් කෑම ලෑස්ති කරන්න"

"අයියෝ මල්ලි උඹට වදේ නේද?"

නිහාල් හිතේ කැමැත්තක් තිබියදී වුවත් ඇසුවේය.මේ නොදන්නා පළාත් වල කඩ කෑම ගැන නිමාලිට කොහොමත් විශ්වාසයක් නැත.

"මොන වදයක්ද අය්යෙ.තාම දොළහටත් නෑනෙ.මේ පාරෙ දිගටම ගියා ම......"

ජයන්ත නිවසට පාර කියන්නට විය. සමරසිංහගේ ගෙදරට දෙන්න ගත් බඩු මුට්ටු පාර්සලය ද ඇති නිසා මෙන් ම බොහෝ කාලයකින් හමු නොවූ මිතුරෙක් දැක ගැනීමේ සතුටින් ද යුතුව නිහාල් තම වාහනයට නැගුනේය.

"මගෙ නම්බර් එකත් දාගන්න.මම මේ ලෝඩ් එක බාලා ටාර් ගාලා එන්නම්."

ජයන්ත ඒ කිට්ටුව නවත්වා තිබූ වැලි පිරවූ ටිපර් රථයක රියදුරු අසුනට නැග්ගේය.නුහුරු හැඟීමක් ඇති වුවත් නිහාල් ඒ කිවූ මග දිගේ වාහනය ගෙන ගියේය.

ජයන්ත කිවූ නිවස අසලට ආ නිහාල් අන්දුන් කුන්දුන් වූයේය.රට රස්සාවක් කළ කෙනෙක්ගේ ගෙයක්ද මේ?පාර වැරදුනාවත් දැයි ඔහු ජයන්තට ඇමතුමක් ගන්නට හදද්දී හිනා කටක් පුරවාගෙන කාන්තාවක් ඉදිරියට ආවාය.

------------Shanika Tennakoon--------------

"නිහාල් අයියලා නේද.මට ජයන්ත කෝල් කළා.එන්න අයියෙ"

නිහාල් වාහනයෙන් බැස්සේය.තවමත් බාගෙට හදාගෙන යන නිවස දෙස සරදම් ඇසින් බැලූ නිමාලි ද දරුවන් දෙදෙනා සමග ඔහු පසුපසින් ආවාය.නිවස තුළට ආ විටත් නිහාල්ට පුදුම හිතුනේය.එහි ඇත්තේ අවශ්‍යම බඩු භාණ්ඩ කීපයක් පමණි.ජයන්තට ඉන්නේ දූලා දෙන්නෙකි. ඉක්මනින් ම දරුවෝ මිතුරු ව සෙල්ලම් කරන්නට වූහ.

"ජයන්ත කොච්චර කල් ඔයාල එක්ක හිටියද?"නිමාලි දරා ගන්නටම බැරි තැන කසුකුසුවෙන් ඇසුවාය.

"වැඩි කාලයක් නෑ"

නිහාල් රැවුමකින් පිළිතුරු දුන්නේය. මේකා කාගේ හරි වංචාවකටවත් අහු වී සේසතම විනාශ කර ගත්තාදැයි ඔහු කල්පනා කළේය.

ගෙදර ආ ජයන්ත කිසිම අමුත්තක් නැතිව  ආ ගිය තොරතුරු කතා කරමින් නිහාල් සමග මිදුලට බැස්සේය.

"උඹ රට ආවේ මල්ලිලා දෙන්නට උගන්නන්න ඕන නිසා නේද?" අමාරුවෙන් මතක් කරගෙන නිහාල් ඇසුවේය.

"හ්ම්."

"කෝ දැන් ඒ දෙන්නා?"

"ලොක්කා නං ඉගෙන ගත්තා.දැන් බැඳලා ඒ නංගි එක්කම රට ගියා තව ඉගෙන ගන්න.පොඩ්ඩා කැලේ පැන්නා. හරි අමාරුවෙන් මේසන් වැඩ ඉගෙන ගන්න දැම්මෙ"

"අපරාදෙ බං උඹට ආයෙ එන්නයි තිබුනෙ"

නිහාල් කීවේ අවංකවමය.

ජයන්ත සිනාසී ඔහු දෙස බැලුවේ නොකියා කී දේ තේරුන නිසාය.

"හම්බ කරපු සල්ලි වලින් එක පාරම ගෙයක් හැදුවෙ නෑ අයියෙ....ඉඩමක් අරන් කඩ කාමර පේළියක් හදල කුලියට දුන්නා.ආයෙ පොඩි ලොරියක්  අරන් අපේ පැත්තෙ වවන දේවල් ටවුමට ගෙනිහින් ගානක් තියන් කඩවල් වලට දැම්මා. වෙන හයරුත් කළා.ලොක්කා  මට බිස්නස් එකක් අල්ලලා දුන්නා ගමේ  එළවළු හොඳට හදල ඒ රටට යවන්න.ඒකට තැනක් හදලා කීප දෙනෙක් වැඩ එතන. පොඩ්ඩා දැන් බිල්ඩින් කොන්ත්‍රාත් අරන් කරනවා. මගේ ගේ හදන්නෙත් එයා. එයාගෙ වැඩ වලට ඕන දේවල් එකම තැනක තියෙන්න ඕන කියල මිනිහත් සල්ලි දාලා ටවුමෙ පළවෙනි හාඩ්වෙයාර් එක පටන්ගත්තා මං. ලොකු දුව ටවුමෙ ඉස්කෝලෙට තේරුණා ශිෂ්‍යත්වෙන්.ඒ නිසා ස්කූල් වෑන් එකක් ගන්න හොයනවා මේ දවස් වල ගෙදරටත් හරි හමන් වාහනයක් නැති නිසා.මේ ටික ඇති අයියෙ මට ණය නැතුව ජීවත් වෙන්න"දිගටම කියාගෙන ගොස් ඔහු සිනාසුණේය.

නිහාල් විස්මයෙන් අසා සිටියේය. එවෙලේ සිට ඔහු සිටියේ බර කල්පනාවකය.

"ඔයාලගෙ රට හිටිය යාළුවන්ගෙන් කිසිම දියුණුවක් නැත්තෙ එයාට විතරයි.මහ නාස්තිකාරයෙක් වගේ"ඒ නිවසින් පිටව ටික දුරක් එද්දී නිමාලි කීවේ උපහාසයෙනි.

"තාත්තෙ වෑන් එකේ පිටිපස්සට ඒසී එන්නෙ නෑ" පුතා කෑගැහුවේය.

"මං ඔයාට කියන්න හිටියෙ.යන්න කලින් වාහනේ ෆුල් සර්විස් එකක් දුන්නා නම් හොඳයි නේද.නැත්නම් ගරාජ්කාරයෝ මගෙ කනෙන් රිංගන්න හදයි."

"හ්ම්....."

"අනේ තාත්තෙ අපි වෙන වාහනයක් ගනිමුකෝ.මේක පරණයිනේ"ඒ අස්සේ දුවත් කීවාය.

"හා හා එච්චරයි අඩු තව"නිමාලි දුවට සැර කර නැවත නිහාල් දෙසට හැරුණාය.

"දුවගෙ වයස හරි නෑ දැන්.ගේ කලර් වොශ් කරලා කර්ටන් ටිකවත් අලුතෙන් දාමු. පුටු සෙට් එකත් පරණයි දැන්. කට්ටියටම නොකියා බෑනෙ" ඇය පහත් හඬින් කීවාය.

"හ්ම්.....හ්ම්....."නිහාල් සිතුවිල්ලෙන් ම උත්තර බැන්දේය.

"අනේ මන්දා......ජයන්තගෙ දුවත් අපේ දුවට අවුරුද්දයි බාල.ඔය ගෙදරට කොහොමද මනුස්සයෙක්ට එන්න කියන්නෙ එහෙම දේකට. අනාගතේ ගැන හිතල නැති තාත්තෙක්"

"හ්ම්.......අනාගතේ ගැන හිතල නැති තාත්තෙක්" නිහාල් තමාටම මෙන් කියා ගත්තේය.

------------Shanika Tennakoon--------------

 

Comments

Post a Comment