අපිට අපේ අත්

 


"අක්කෙ,අන්න ලස්සන ලියුමක් ආවා"

තරමක් ජනප්රිය තලයේ සිටින නිළියක වූ සමාරා නිවසට ගොඩ වන විට ම නංගී අමායා කීවාය.

"ලස්සන ලියුමක්?"

සමාරා නැවත එය ම ඇසුවේ මේ කාලයේ ලියුමක් එවීම කලාතුරකින් සිදුවූ දෙයක් මෙන් ම එයත් ලස්සන ලියුමක් වූයේ කෙසේදැයි සිතමිනි.
"ඔව් හලෝ හෑන්ඩ් මේඩ් පේපර් එකක් එන්විලොප් එක.පරිස්සමෙන් ගලවනවා. මට ඕන ඕක"
සමාරා එය අතට ගනිද්දිම අමායා කීවාය.
ඇත්තටම එය අලංකාර කවරයක එවූ අලංකාර කාඩ් පතකි.දෙවරක් එය කියවූ සමාරා නොසැලකිලිමත් ලෙස මේසය උඩට දැම්මාය.
"පිස්සු මුන්ට"
අක්කා ඉවත දැමූ කාඩ් එක ගත් අමායා හඬ ගා එය කියෙව්වාය.
"ශාන්ත හා ශීලාගේ තිස් වන විවාහ සංවත්සරය ඉරිදා හවස පහට රෝස් ගාඩන් හෝටලයේ දී......."
"ශාන්ත කියන්නෙ අර ෆේමස් ඩිරෙක්ටර් නේද.ගිය අවුරුද්දේ එවෝඩ්ස් ඔක්කෝම ගත්තෙ එයාගෙ ෆිල්ම් එක නේද?"
"හ්ම්"
"ශීලාත් හරි ෆේමස් නිළියක් නෙ.අම්මෝ එයාල බැඳල අවුරුදු තිහක් වුණාද.එච්චර වයස පේන්නෙ නෑනෙ"
"රටේ මිනිස්සුන්ට මේ තරම් අහේණියක් වෙලා වේලක් කන්න සල්ලි හොයා ගන්න බැරුව ඉන්නවා.මුන්ට පාටි"සමාරා තරහින් කීවාය.
"බැඳලා මාස ගාණෙන් ඩිවෝස් වෙන නළු නිළියො එක්ක බලද්දි මේක පාටි දාන්න වටින දෙයක් තමා"
"පාටි බැරි නම් ඕන එකක් දා ගත්තාවෙ. ඒත් මේ වෙලාවෙ නෙවේ. බලනවකෝ මේ කාඩ් එකටම හොඳ වියදමක් යන්න ඇති.අනිත් අයිටම් ගැන හිතා ගතෑකි. මුන්ට මොකද ළමයි බැඳලා රටෙත් නෑ. සල්ලි නැතුවයැ ගොඩ ගහපුවා"
"ඒ කියන්නෙ ඔයා යන්නෙ නැද්ද ඕකට?"අමායා නොසතුටින් ඇසුවාය.ඇය අක්කා යන එන තැන් වලින් අලුත්ම නළු නිළි ඕපදූප අසා ගැනීමට ආශා කරයි.
"නොයා කොහොමද?ෆීල්ඩ් එකේ ඔක්කොම දළ කාරයො එකතු වෙන තැන.හයියෝ අළුතෙන් ඇඳුමක් ඩිසයින් කරගන්නත් වෙයි.කාලෙකින් ෆුල් ෆේශල් එකක් කළෙත් නෑ"
සමාරා නොරිස්සුමින් කියාගෙන ගෙට ගියාය.
***************** Shanika Tennakoon
අලුත් ඇඳුමක් සකසා ගන්නටත් ෆේශල් එකටත් ඇය නොසිතූ තරම් මුදලක් වැය වූයේ සියලු අයිතම වල මිල හතර පස් ගුණයකින් වැඩි වී තිබුණ නිසාය.මේ නිසා වාහනයක් හයර් කරන්නට සිතූ සිතුවිල්ල ඉවත් කර ඇය මල්ලි සමිතගේ කාරයට ඉන්ධන වියදම් දී ඔහු සමග යාමට පිටත් විය.
යනතුරු ම දෙන්නා තරඟයට මෙන් මේ උත්සවයට දොස් කීවේ රටේ මෙවන් තත්ත්වයක් තිබියදී මේ කරන අති මහත් නාස්තිකාර වියදම ගැනය.එයින් පිහිට විය හැකිව තිබූ අසරණ පවුල් ගණන ගැනය.
***************************************
හප්පා......එක කෝළමයි.දිළිසෙනවා බබළනවා.හැමෝම තකට තක.ඔස්කාර් එවෝඩ්ස් එකේවත් ඔහොම අඳින්නෙ නැතුව ඇති.තිබ්බ මෝස්තර ටික.හොඳ වියදමක් යන්න ඇති කාට කාටත්. ඔක්කොටම එහා ඒ ජෝඩුව ඇඳන් හිටි ඒවා.මනමාලී මනමාලයා වගෙ.මියුසික් බෑන්ඩ් දෙකක්.වෙඩින් එකකවත් මං දැකල නෑ එච්චර සයිස් කේක් ගෙඩියක්. කොච්චර නාස්තියක් ද මේ වගේ කාලෙක.පවුල් කීයක මිනිස්සු කී දාහකට කන්න වේලක් දෙන්න තිබුණද?"
සාදයෙන් පසු නිවසට ආ සමාරා හුස්මක් නොගෙන ම කියාගෙන ගියේ යනකල්ම තමාට වඩා ඊට බැණ බැණ ගිය සමිතගේ නිහඬතාවය ගැනත් පුදුමයට පත් වෙමිනි.
"ඒ දෙන්නා වැරදි නෑ මට හිතෙන්නෙ" සමිත අවසානයේ හඬ අවදි කළේ අසා සිටි සියලු දෙනා පුදුමයට පත් කරමිනි.
"ඈ ?"
" මේ වෙලාවෙ රටේ 95%කටත් වඩා මිනිස්සු අසරණ වෙලා.හැබැයි ඒ බහුතරයක් දෙනා කිසි හොරකමක් වංචාවක් නැතුව තමන්ගෙ දක්ෂකමින්, උත්සාහයෙන්,මහන්සියෙන් හම්බ කරගත්ත කාටවත් අත පාපු නැති සාධාරණ වැදගත් මිනිස්සු.මං එතන හිටි ඩ්රයිවර්ස්ලා කීප දෙනෙක් එක්ක කතා කළා.ඒ මිනිස්සුන්ට දවස් ගාණකින් ලැබුණ හයර් එකලු මේ.අපිට සර්ව් කරපු වේටර්ලාත් කිව්වා හෝටලේ ගොඩක් අයව අස් කළා ලු පඩි ගෙවන්න විදියක් නැතුව.අද මේ ෆන්ශන් එක නිසාලු කීයක් හරි අතට එන්නෙ එයාලගෙත්. ඕකෙ ඉන්විටේශන් කාඩ් එකේ ඉඳන් ආව අයට දුන්න ගිෆ්ට් එක දක්වාම සම්බන්ධ වුණ අයගෙ කතාව ඕක තමා.වේල් දෙක තුනකට බඩු මල්ලක් නොදුන්නට ඒ දෙන්නා කරල තියෙන්නෙත් මහා පින්කමක්."
සමාරා යටි තොළ හපාගෙන බලා සිටියාය.තමන් සාදයේ ඇඳුම සකසා ගත් සාප්පුවේ කාන්තාව ද තමන් පිට වූ සැණින් "පුතේ ඔයාල දෙන්නගෙ පොත් ලිස්ට් දෙක වට්සැප් දාන්න.සල්ලි හම්බ වුණා" කියූබව ඇයට මතක් විය.

Comments