තම තමන්ගේ වැඩ 2

 


 තත්පරයක් පාසා වැඩි වන බයකින් ගැහි ගැහී සිටි අනූශාගේ හිතට දැන් යන්තම් අස්වැසිල්ලක් දැනේ.සරත්ගේ තත්තවය තරමක් යහපත් බව දොස්තර මහතා කීවේය.ඇයට මින් පැය කීපයකට පෙර සිදුවීම මතක් විය.

උදේ කෑම මේසයට ඉඳගත් සැමියා සරත්  මොහොතකින් පපුවේ පැත්තක් අල්ලාගෙන කෑ මොර දුන්නේය.අනූශා දැනසිටි ප්‍රථමාධාර වලින් පලක් නොවන තැන රෝහලට ගෙන යා යුතු බව පෙණුනේය.

                    අනූශා වෙනදා මොන හදිසියටත් කතා කරන්නේ අල්ලපු ගෙදර නදීකාට ය. එහෙත් මේ සතියම ඔවුන් ගමේ ගියේ අනූශාටම යතුර බාර දී ය.ඇයට ඊළඟට මතක් වූයේ පහළ ගෙදරට අලුතෙන් ආ රෝශිනීය.වැඩි කතාබහක් ඇති කරගන්නට කාලයක් නොවුණත් රෝශිනීගේ සැමියා වැඩට යන එන විට සරත්ට නිතර මුණ ගැසෙයි.ඇය වෙව්ලන අතින් ඒ නිවසට ඇමතුමක් ගත්තාය.

"ආ....මාලක නං ගෙදර නෑ අක්කෙ. ඉන්නකො පොඩ්ඩක්........අක්කා අයියව හොස්පිටල් ගෙනියන්න ලෑස්ති කර ගන්නකො"

                    රෝශිනී වෙනත් පිරිමි කෙනෙක් හා එනු ඇතැයි සිතුවත් ඇය පමණක් කඩිනමින් ගේට්ටුවෙන් ඇතුල් වෙනු දුටු අනූශාට නොරිස්සුමක් ඇති විය.නමුත් රෝශිනී ගත වූ අවුරුදු පහටම මෝටර් රථයේ අනූශා නිකමටවත් වාඩි නොවූ රියදුරු අසුනේ ඉඳගෙන ඉතා හුරු පුරුදු ලෙස රෝහලට රිය පැදෙව්වාය.එහිදීත් ඉතා කඩිසර ව සොයා බලා කතා බහ කරමින් සියල්ල වෙලාවට කර දුන්නාය. ඔහුගේ දිවි බේරුණේ එතරම් ඉක්මනින් ආ නිසා බව කීප තැනකදී ම කියවුණේය.සැමියාගේ අසනීපය නිසා  මනස නිරවුල් නැතැයි හැඟෙන්නට ඇර පැත්තකට වී ඔහේ බලා සිටියත්  සාමාන්‍ය දිනකදීවත් තමන්ට ඒ තරම් හපන්කමක් කළ නොහැකි බව අනූශා දනියි.

"අක්කෙ ඩොක්ටර් කතා කරනවා"

රෝශිනීගේ කටහඬින් තිගැස්සුණු ඈ වටපිට බැලුවාය.ඇය තවමත් කම්පනයෙන් ලෙස සිතාගත් රෝශිනී අනූශාට ඔහු ඉන්නා තැන ද පෙන්නුවාය.

දොස්තර මහතා හමු වී අනූශා ආවේ සිත බර කර ගනිමිනි.

"මේ බේත් ටික පිටින් ගෙනත් දෙන්න කිව්වා.සරත්ට කීප දවසක් නවතින්න වෙන නිසා ගේන්න බඩු ලිස්ට් එකකුත් දුන්නා වෝඩ් එකෙන්"

"ඉතිං අපි ගිහින් ගේමු.......පහළ ෆාමසි වල ඇති"රෝශිනී වහා නැගී සිටියාය.

"මං හදිසියට සරත්ගෙ පර්ස් එක ගෙනාවට ඒකෙ රුපියල් දෙදාහයි නංගි තියෙන්නෙ.මදි වෙයි නේද?"අනූශා ලැජ්ජාවෙන්  කීවේ මෙච්චර උදව් කළා මදිවට සල්ලිත් ඉල්ලනවාද ලෙස ඇය හිතුවොත් සිතමිනි.

රෝශිනී අනූශා විවර කර පෙන්වූ මුදල් පසුම්බිය දෙස නිකමට බැලුවාය.

"ඔය ඒටීඑම් කාඩ් දෙකක් තියෙන්නෙ අක්කෙ.ඒකෙ සල්ලි ඇති නේද?"

"බැංකු වැඩ,බඩු ගේන වැඩ ඔක්කෝම මහත්තයා කරන්නෙ.මං ඕවා දන්නෙ නෑනෙ.රහස් අංකයක් එහෙමත් තියෙනවා නේද?"

රෝශිනී තමන් දෙස බැලුවේ පුදුමයෙන් ද උපහාසයෙන් දැයි අනූශා සිතුවාය.

"අතේ සල්ලි නැති උනත් හුඟක් ශොප් වල කාඩ් එකෙන්ම  ගෙවන්න පුළුවන්. යමු මං කියා දෙන්නම්.බේත් ටික ගෙනත් දීලා අපි ගෙදර යමු.වාට්ටුවේ නවතින්න ගේන්න කිව්ව දේවලුත් ගන්න ඕන ද මොනව හරි අලුතෙන්?"

"බෙඩ් ශීට් දෙකක් නම් ගත්තොත් හොඳයි වගේ.කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ"අනූශා ඉතා අපහසුවෙන් කීවාය.

"හරි  මං අක්කව ශොප් එකකට එක්ක යන්නම්......... ගෙදර ගිහින් ඔක්කොම බඩු ටික ලෑස්ති කරගන්න. අපි යන එන විශ්වාසදායී  ත්‍රීවීල් එකක් තියෙනවා එයාව කතා කරල දෙන්නම් අක්කට හොස්පිටල් එකට එන්න යන්න"

රෝශිනී අනූශාගේ හිතට වද දිදී තිබූ ප්‍රවාහන ප්‍රශ්නය ද දිවැසින් දුටු සේ විසඳුවාය.

                    සරත් රෝහලේ සිටි කාලය පුරා අනූශා යන්ත්‍රයක් මෙන් වැඩ කළත් සිත තිබුණේ වෙනතකය.ඔවුන් එහි පදිංචියට පැමිණ වසර අටකට වැඩිය. ඇය අහල පහල සිල්ලර කඩයකටවත් නොයයි. නිවසේ සුළු අලුත්වැඩියාවක් වුවත් එක්කෝ සරත්  කරන තුරු සිටී. නැත්නම් ඔහු කෙනෙක් ගෙන්වා කරවාගන්නා තුරු බලා සිටියි.ඒ  කිසි කෙනෙක්ගේ අංකයක්වත් ඈ නොදනී.ඇය ආශා කළේ නිවසටම වී එහි කටයුතු සුපිරියටම කරගෙන ඉන්න ය. සැමියා කොතරම් වාහනය එළවන්න පුරුදු කරන්න,කඩ වලින් බඩු ගන්න, බැංකුවට,තැපැල් කාර්‍යාලයට යන්න අඬ ගැහුවත් ඇය නෑසූ කන් ව සිටියේ ඕවා පිරිමි වැඩ කියමිනි. එහි රඟ දැනෙන්නේ දැන්ය.

සරත් අසනීප වූ දවස් දෙක තුනට මේ තරම් අසරණකමක් දැනුනේ නම් මීට වඩා ලොකු අසනීපයක් වුවහොත්???

එය මතක් වෙද්දී ඇයගේත් පපුව හිර වෙන්නට ආවේය. මෙතෙක් ඇගේ ඉවුම් පිහුම්,ගෘහ පාලන හැකියා නිසා බොහෝ බිරියන්,දූවරු,ලේලිලා බැණුම් අසද්දී අනූශා එය නොදන්නවා මෙන් සිටියත් පොඩි පහේ ගර්වයක් ද සිතේ සැඟවී තිබුණේය. නමුත් ඒ අයගේ වෙනත්  හැකියා සමග බලද්දී අනූශාට සැඟවෙන්නත් තැන් නැත.

සුවය ලැබූ සරත් රෝහලෙන් ගෙන එන්නට අනූශා ගියේ තනියෙනි.

"කවුරු එක්කද ආවෙ?"ඔහු ඇසුවේය.

"තනියෙන්.......ඇය ආඩම්බරයෙන් කීවාය.

........කැබ් එකකට කෝල් කළා ඔයාට බස් එකේ යන්න බැරි නිසා.ඔයාට කන්න දෙන්න ජාති ලිස්ට් එකක් ම දුන්නා ......... මං ඒ ටිකත් ෆුඩ් සිටියෙන් අරන් ආවෙ"

 


 

Comments