පිට කවරය



"මැඩම් පව් නේද බං" 

ශාක්‍යා මැඩම්ගේ නිවසින් එළියට විත් මහ පාර තෙක් ඇවිදගෙන ගොස් බසයකටත් ගොඩ වී ටික වේලාවක් යනතුරු  තම තමන්ගේ ලෝක වල සිටි රිද්මි හා තිසුරි අතරින් යන්තම්  කල්පනාවෙන් මිදුණ රිද්මිගෙන්  කියවුණේය.

ඔවුන් දෙදෙනාගේ  පර්යේෂණ නිබන්ධන වල අධීක්ෂණය බාර ව ඇත්තේ ආචාර්ය ශාක්‍යාටය.තරුණියන් දෙදෙනා සතියේ දවස් වල කාර්‍යබහුල වූ නිසා ඇය පර්‍යේෂණය ගැන කතා බහ කරන්න ඔවුන්ට සෙනසුරාදා උදේ තම නිවසට එන මෙන් ඇරයුම් කළාය.

"මැඩම් වගේ කෙනෙක් මොකටද එහෙම පිස්සෙක් බැන්දෙ?"

"ප්‍රපෝසල් එකක් වෙන්න ඇති"

"පිස්සුද.කොයි අම්මා තාත්තා ද මෙච්චර ලස්සන උගත් දුවෙක් ඒ වගේ මිනිහෙක්ට දෙන්නෙ.මැඩම්ම අර ඉන්නෙ මගෙ හස්බන්ඩ් කිව්වෙ නැත්නම් මං හිතාගෙන හිටියෙ වත්තෙ වැඩ කරන මනුස්සයා කියල"

"සමහර විට මැඩම් හරී දුප්පත් පවුලක වෙලා ඒ මනුස්සයා හොඳ පෝසත් කෙනෙක් ද දන්නෙ නෑනේ"තිසුරි චිත්‍රපට කතාවක ස්වරූපයක් දෙමින් කීවාය.

ඔවුන් දෙදෙනා බෝඩිමට යද්දී ගෙහිමි නාලනී අක්කාගේ දුව මල්ශිකාට ටියුෂන් දෙන ගුරුවරිය ද ඇවිත් සිටියාය.

"මැඩම් හිටියද.මහත්තයාත් හිටියා ද?"

ඔවුන් දුටු සැණින්  නාලනී අක්කා අහද්දී ඇය ඔවුන් ගිය ගමන ගැන ගුරුවරියට ද කියා ඇති බව තේරුණි.

"ශාක්‍යා මගෙ ජූනියර් බැච් එකේ බැච් ටොප්.අපේ බැච් ටොප් එක්ක තමා යාළු වෙලා හිටියෙ.ඒ කාලෙ කැම්පස්  හිටිය හොඳම මැචින් කපල් එකක්"

ගුරුවරිය කියද්දී තිසුරිත් රිද්මිත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

"ඇයි එහෙනම් එයාව බැන්දෙ නැත්තෙ?"

තිසුරිට ඉබේ ඇසුණේය. කාන්තාවෝ දෙදෙනාම තිගැස්සී ඕනෑකමින් බැලූහ.

"මැඩම් අන්මැරීඩ් ද?" නාලනී අක්කා ඇසුවාය.

"මැරීඩ් නම් තමා.ඒ මනුස්සයා බැච් ටොප් තියා වැස්සකටවත් කැම්පස් එකකට ගිය කෙනෙක් නෙවේ"

"හරි පුදුමයි.නිලුපුල් හරිම හොඳ කෙනෙක්.කිසිම පවුලකින් එයාට අකමැති වෙන්න හේතුවක් නෑ" ගුරුවරිය පුදුමයෙන් කීවාය.

"සමහර විට ඔය මැඩම් ඉස්කෝලෙ යන කාලේ යාළුවෙලා හිටි කෙනා වෙන්න ඇති.පස්සෙ හොඳ කෙනෙක් යාළු වුණාට මේකෙන් ගැලවෙන්න බැරි වෙන්න ඇති"

"ඔන්න දැක්කද ඉස්කෝල කාලේ ඔහොම සම්බන්ධකම් පටන් ගන්න එපා කියන හේතුව.........ඒ කාලෙට ඊට වඩා කුමාරයෙක් නැති උනාට හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ආවට පස්සෙ කොච්චර හොඳ කෙනෙක් හම්බ වුණත්  බඳින්න විදියක් නෑ."

ගුරුවරිය අවධාරණයෙන් මල්ශිකා දෙස බලද්දී නාලනී ද හිස වනා එය හිස් මුදුනින් ම පිළි ගත්තාය.

කොහේවත් නැති කතාවක් අවසානයේ තමන් ඉලක්ක වීම ගැන තරහින් මල්ශිකා බුම්මා ගත්තාය.

*********************

"අක්කෙ ඔයාලගෙ කැම්පස් එකේ ද ඉන්නෙ ඩොක්ටර් රණස්ගල්ල"

 රිද්මිත් තිසුරිත් නැවතී සිටි කාමරයට සති අන්ත පත්තරයක් රැගෙන එමින් මල්ශිකා ඇසුවාය.

"ඔව් ඇයි?"

"එයාට තමා මේ පාර ලෝකෙන් ම හොඳම පරිසරවේදියාගෙ සම්මානෙ ලැබිල තියෙන්නෙ.මේ බලන්න පත්තරේ"

"නියමයිනේ අපේ ශාක්‍යා මැඩම්!"

"ගෑණු කෙනෙක් නෙවේ පිරිමි කෙනෙක්" මල්ශිකා පත්තරය පෙන්නුවාය.

"එහෙනම් මැඩම්ගෙ සහෝදරයෙක් වත් ද?"

තිසුරි පැමිණ පත්තරයට එබුණාය.ඒ සැණින් ඇයට කෑ ගැස්සුනේය.

"ඒයි මේ මැඩම්ගෙ හස්බන්ඩ් නෙ"

"මොකක්??? අර මඩකරියෙක් වගේ හිටිය කෙනා......එයාගෙ අයියා වෙන්න ඇති"

රිද්මි කරමින් සිටි වැඩ නවතා ඔවුන් වෙත ආවාය.

"හස්බන්ඩ්ගෙ අයියා එක්ක කපල් ෆොටෝ ගන්න මැඩම්ට පිස්සුද .... මේ බලපං"

තිදෙනාම  පත්තරය කියවන්නට ගත්හ.

"ආ මේ තියෙන්නෙ"

ඒ වෙද්දිත් ලිපියෙන් බාගයක් පමණ කියවා සිටි මල්ශිකා ඇඟිල්ල තියා පෙන්වූවාය.එහි වූයේ මාධ්‍යවේදියා සමග යන දෙබසක කොටසකි.

"ජාත්‍යන්තරය පවා ඉහළින්ම පිළිගත් විද්වතෙක් වන ඔබතුමා ඇයි ඔහොම අඳින්නෙ?"

"මේ මගේ විදිය............ඇයි ඒක ප්‍රශ්නයක් ද?"

"සරල ව අඳින පළඳින එකෙන් ඔබතුමා කොහේදිවත් අපහසුතාවයට පත් වෙලා නැද්ද?"

"අපොයි නෑ.හැබැයි ඩොක්ට රණස්ගල්ල හොයාගෙන ඇවිත් ඒ මං කියල දැන ගත්තම ඒ අයගෙ මූණු වෙනස් වෙන විදිය අපි දෙන්නාට නම් හරිම විනෝදයක්."

තරුණියෝ ලැජ්ජාවෙන් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

"අපි ආවට පස්සෙත් ඒ දෙන්නා මතක් කර කර හිනා වෙන්න ඇති නේද?"

"පොතක පිට කවරෙන් ඒකෙ ඇතුළ මනින්න එපා කියන්නෙ ඕකට තමා"

 


Comments