සොබාදහම නඩු අසන දා



            උදානි, චංචලා, ජයමාලි ඇඟලුම් කම්හලක සේවය කරන එකම බෝඩිමක නවාතැන් ගත් යුවතියන් තිදෙනෙකි. කොතරම් දුෂ්කරතා, ප්‍රශ්න  තිබුණත් ඔවුන් අතර තිබුණේ සතුටින්  පිරුණු සහෝදර බැඳීමකි. නමුත් අද ඒ සතුට රැඳුන තැනක්වත් සොයා ගැනීමට නැත. උදානි බැනීමෙන් ද චංචලා ඇඬීමෙන් ද හෙම්බත් ව සිටිති.ජයමාලි මේ දෙදෙනාට මැදිව එහා මෙහා බලමින් සිටියි. චංචලාගේ දුරකථනය නාද විය.අම්මා ලෙස සටහන් වේ.ජයමාලි එය අතට ගත්තාය.චංචලා වහා ඇයගේ අතින් අල්ලා ගත්තාය.

 "උඹ මේ පාරත් ෆෝන් එකට උත්තර නොදුන්නොත් ඒ මනුස්සයාට බය වෙලා මොකක් හරි වෙයි.  

නැන්දෙ......හදිසි ඕඩර් එකක් ඇවිත් චංචලාට අදත් වැඩට යන්න උනා. ෆෝන් එක දාලා ගිහින්.මං ආව ගමන් ගන්න කියන්නම්........ හරි නැන්දෙ  බුදු සරණයි" ජයමාලි කාමරයෙන් ඉවතට ගොස් ඇමතුමට පිළිතුරු දී නැවත ආවාය. චංචලාගේ ඇඬුම අලුත් වී තිබුණි.

" හවස් වෙද්දි කට හඬ හදාගෙන අම්මට කෝල් කරපං"

 "අනේ මට අම්මට මූණ දෙන්න බෑ.මං කෝච්චියට පනිනවා"

 "අන්න යසයි.මෙච්චර කල් උඹව හදල වඩල දුක් වින්ද අම්මට  දෙන්න පුළුවන් උපරිම දඬුවම."

"ඕක නවත්තපල්ලකො.අඬල, බැනල මේකට උත්තර හොයන්න බෑ....... ජයමාලි හරස් කැපුවාය.

"මං හිරාන්ට කෝල් කළා.එයා මට බලහත්කාරකම් කළේ නෑලු. මේ දරුවා එයාගෙම කියල ඔප්පු කරන්නලු. "

 " ඌට හෙණ ගහන්න එපැයි. ගනිං කෝල් එකක්.මං ඌට කියා දෙන්න"එවර ජයමාලි  පරල වූවාය.

"දැන් ඒ නම්බර් එක වැඩ නෑ.මං බෝඩිමටත් හොයන් ගියා.එහෙන් ගිහින් මාසෙකට වැඩිලු"

 "උගෙ ගෙවල් කොහෙද?"

 "කුරුණෑගල පැත්තෙ. හරියටම දන්නෙ නෑ"

 "උඹත් මහ එළ හරකියක්.දැන් ඇල්ලුවැකි ඕකගෙ නැට්ට."

            මේ ගින්න ඇවිළූ හිරාන් මේ වෙද්දී කිසිත් වගක් නැතිව තවත් ගොදුරක් වෙත ළං වෙමින් සිටියේය.ඔහුගේ රැකියාව රැඳී තිබුණේ අපනයන වෙළඳ කලාප ආශ්‍රිතවය. එක් ප්‍රදේශයක උපරිම රැඳිය යුතු වූයේ මාස හයකි.ගෙදරින් තමන්ට ගොඩ මඩ දෑවැදි සහිත සුළං රැල්ලක්වත් හමා නොගිය රූමත් මනමාලියක් සොයා දෙන බව නිසැකවම දැන සිටි නිසා මේ කෙටි කාල සීමා ඔහු සිත් සේ ප්‍රයෝජනයට ගත්තේය. චංචලා ඔහුගේ තවත් බිල්ලක් පමණි.

            මේ වර හිරාන්ගේ හිත ගොස් ඇත්තේ එසේ මෙසේ කෙල්ලෙක්ට නොවේ.මින් පෙර ඔහුට අහුවූ සියලු තරුණියන්ට ඔහුගෙන් තොර ලොවක් නැති විය.ඒ නිසා ඔහුගේ එක රැවුමකින්,උත්තර නොදුන් එක ඇමතුමකින් ඔවුන්ව තමන්ට ඕනෑ හැටියට නැටවීම සුළු දෙයක් විය. නමුත් මාශා එසේ නැත.ඇයට ඇත්තේ ගින්දර ලස්සනකි.හිරාන් ඇයව වරක් නොසලකා හැරියොත්  ඒ මොහොතේම ඊට වඩා හොඳ කොල්ලෙක් අල්ලා ගැනීමේ හැකියාව ඇය සතුය. මෙතෙක් හිරාන් කෙල්ලන්ව තමන් පසුපස ගෙන්නා ගත්තේය.ඔවුන් ලවා හිතූ හිතූ වියදම් කර ගත්තේය. තමන්ගේ සියලු පහසුව සලසා ගත්තේය.එහෙත් ඔහු මාශාගේ වහලෙක් වූයේය. මාශා පොහොසත් පවුලක බව හිරාන්ට කතාවෙන් තේරුම් යයි. ඇගේ දෙමාපියන් නැත. එකම අයියා පිටරටය.ඇය නැවතී සිටියේ නැන්දා සමගය.තාත්තා සොයා දෙන ගොඩේ මනාලියකට වඩා මාශා හොඳ නේදැයි හිරාන් සිතුවේය.

"හිරූ අපි ගමනක් යමු" වෙනදාටත් වඩා තොඳොල් ලෙස මාශා කියද්දී ඔහුට බෑ කියන්නට බැරි විය.

             මෝටර් සයිකලයේ ඔහුට තුරුළු වී ඇය පාර කීවේ අප්‍රසිද්ධ හෝටලයකටය. ඇය කවුන්ටරයෙන් යමක් විමසා ඉදිරියෙන් යද්දී හිරාන් සිටියේ දෙව් ලොවක පාවෙමිනි. මාශා කාමරයක දොර හැරියාය. සැනින් ඇතුලට රිංගා ගත් හිරාන් පස්සට විසි වුනේය.ඒ තුළ හැඩි දැඩි පිරිමියෙකි.නෑ...දෙදෙනෙකි. මාශා එක් පිරිමියෙක්  වෙත ළං වූවාය.

"මේ අපේ අයියා.....මං අයියට ඔක්කොම කිව්වා"

හිරාන් ආයාසයෙන් හිනා වුනේය.

"මස්සිනා මාශාව ආශ්‍රය කරන්නෙ කසාද බඳින්න බලාගෙන නේද?"

 "ඔ....ඔව් .......අයියෙ" වෙන කිසිවක් කීවොත් තම ජීවිතයට කුමක් වේ දැයි බියෙන් ඔහුට කියවුනේය.

"මං එළියට ආවෙ ඊයෙ. නඩු තුනක් තියෙනවා. තව අවුරුදු  දෙකහමාරක්වත් ඇතුලෙ ඉන්න වෙයි. මේකි පරිස්සම් කරන්න මට හැමදාම  කුලී ගෑණු ගන්න බෑ." ඔහු තම සගයා දෙස බැලුවේය.ඔහුට නොදෙවෙනි මැර පෙනුමක් තිබූ සගයා  ඇතුළකින් වැදගත් පෙනුමැති මේ චණ්ඩීන් හමුවේ අසරණ ව සිටි මහත්මයෙක් කැටුව ආවේය.

 " මේවා දැන්ම ඉවර කරමු."

 මැර ග්‍රහණයට හසු ව සිටි විවාහ රෙජිස්ට්‍රාර් මහතා ඔවුන් විවාහ කළේය.

මොහොතකින් හිරාන්ගේ ලෝකය උඩු යටිකුරු වුණේය. පුතාගේ හපන්කම ආරංචි වූ තාත්තා ඔහුව දරුකමෙන් ඉවත් කළේ සත පහකවත් උරුමයක් නොදී මෙන්ම ගමේ හතර මායිමටවත් වැද්ද නොගන්නට සපථ වෙමිනි.

" මැරේජ් එක පර්සනල් දෙයක් වුණාට ඒ වගේ ෆැමිලි එකකින් මැරි කෙරුව කෙනෙක් මෙතන වැඩ කරන එක කම්පැනි රෙපියුටේෂන් එකට හානියක්" ඒ වාක්‍යයෙන් ඔහුගේ රැකියාව අහිමි විය. මාශාගෙන් ද සැනසීමක් ලැබුණේ නැත.ඇය ඔහු විවාහ කරගෙන තිබුණේ නීත්‍යානුකූල සැමියෙක් පෙන්විය යුතු අවස්ථා වලට ඉදිරිපත් කරන්නටය. ඔහු අයියාගේ මැර ක්‍රියා වලට උදව් කරන්න  කැමති නැත. ඒ සමාජයේ ඔහු  නිකන් ම නිකමෙකි.මස්සිනාගේ හපන්කම් රට පුරා ප්‍රචලිත හෙයින් කිසිම ආයතනයක රැකියාවකට ඔහු බඳවාගන්නේ නැත. ඔහු මාශා වෙතින් පල නොකියා පලා බෙදන තැනට පත් විය.

            ඔහු නිවසෙන් පිටව අරමුණක් නැතිව ගොස් අතුරුදහන් වීමට හොඳම තැනක් වූ කොළඹට සේන්දු වුණේය.හොඳින් ගොතාගත් දුක්බර අතීතයක් කීමෙන් හෝටලයකින් ආහාරපාන පාරිභෝගිකයන්ගේ නිවෙස් වලට  ගෙන යන ඩිලිවරි බෝයි තනතුරක් ලබා ගත හැකි විය.හෝටලයේ පිටුපස සුන්බුන් කාමර කෑල්ලක නවාතැන් ද හිමි විය.

 "මේ බර්ත්ඩේ කේක් එක හරියට තුනට මේ එඩ්‍රස් එකට"

            එවන් ඩිලිවරි වලට හිරාන් කැමතිය. හොඳ ටිප් එකක් සමග සංග්‍රහ ද හිමි වේ. ඔහු නියමිත වේලාවටත් කලින් ආවේය. තුනේ ඉලක්කම සඳහන් නිල්පාට විසිතුරු කේක් ගෙඩියකි.කේක් ගෙඩියේ හැටියට පාරිභෝගිකයාගේ තත්ත්වය මැනගෙන සිටි මුත් මේ ඔහු සිතුවාටත් වඩා ඉහළ පෙළේ මන්දිරයකි. සීනුව නාද කරද්දී කේක් ගෙඩියේ අයිතිකාරයා දුව ආවේය.

" අම්මි මගෙ කේක්, "

සේවිකාව පසුපස ලුහුබැන්දාය."හා හා බේබී වැටෙයි"

දොරකඩින් එබී බැලූ මුහුණ දුටු හිරාන්ට විදුලියක් වැදුනේය. "පුතා පරිස්සමෙන් හොඳේ"

"චංචලා......මේකි කොහෙද මෙහෙ....." හෙල්මට් එක නිසා මුහුණ නොපෙනෙන බැවින් කේක් ගෙඩිය සේවිකාවට බාර දී ඔහු වහා පිට වුනේය. හිරාන් සිහි එළවා ගත්තේ බොහෝ දුර ගොස්ය.

"ඒකි කොහොමද එච්චර උඩ ගියේ. අනිවාර්යයෙන් නාකි දළකාරයෙක් අල්ල ගන්න ඇති. එතකොට ළමයා??" ඔහු ගණන් හැදුවේය.අවසානයේ නිසැක ව ගොඩ යන මාර්ගය පෙනුනේය. පසුවදාම ඒ නිවස පේන තෙක් මානයේ කුඩා කඩයකට ගොඩ වුණේය.

 "කවුද මුදලාලි අර ගෙදර පදිංචි?. ගෙදරින් තරහ වෙලා ආව මගෙ එකම නංගී කොළඹ ලොකු ගෙදරක වැඩ කරනවා කිව්වා දැක්ක කෙනෙක්.මේක තමා දුන්න ඇඩ්‍රස් එක" කුතුහලයෙන් නන්නාඳුනන තරුණයා දෙස බැලුවත් ඔහුගේ මවාගත් අහිංසක පෙනුමට හා කතාවට මුදලාලි ද වසඟ විය.

 *******************************************************************************

හිරාන් සුප්‍රසිද්ධ ලක්සළු ඇඟළුම් ආයතනයට ආවේ හොඳින් ගලපාගත් සැලසුමක් සමගය.

"චංචලා මැඩම් හම්බ වෙන්න පුළුවන්ද?"

 ආරක්ෂක නිලධාරියා ඔහුගේ හිස් මුදුනේ සිට  පාදාන්තය තෙක් බැලුවේය.

"වෙලාවක් අරන් ද තියෙන්නෙ?"

 "හීරැස්සගල පොඩි අප්පුහාමි මාමාගෙ  පුතා කියන්න ආරාධනාවක් අරන් ආවේ"

            චංචලා කියූ ඇගේ ගමේ විස්තර ඔහුට මතක ය. එතැනින් පැනගත් ඔහු වටපිට සිරි නරඹමින් ඇතුලට ආවේය.මේ සියල්ලට තමන් හිමිකම් කියන දිනයට වැඩි දුරක් නැත. ආරක්ෂක නිලධාරියාට කිවූ දේම තවත් වැඩි දියුණු කර කියා කීප තැනකින් ම ගැලවී ඔහු දැන් ලක්සළු ආයතනයේ අධිපති කාන්තා තුන් කට්ටුවෙන් එක් අයෙක් අබියසය. ඔහු දුටු චංචලාගේ  ඇහිබැම යන්තම් ඇකිළුනේය.එහෙත් ඇය වෙනසක් නොපෙන්වා කතා කළාය.

 " මොකක්ද උවමනාව?"

 " මට දහස් වරක් සමා වෙන්න. අප්පච්චි ලෙඩ වෙලා හදිසියේ මං ගෙදර ගියා.එයා හිටි තත්ත්වෙත් එක්ක මට මුකුත් කියා ගන්න බැරි නිසායි එදා එහෙම කියන්න වුණේ.ඒත් මේ අවුරුදු ගාණම........"හිරාන්ගේ යුවතියන් රවටන නළවන හැකියාවට තවමත් හානියක් වී නැත.ඕනෑම කෙනෙක්ගේ හදවත දිය වී වැගිරෙන තරම් දුක් මාලාවක් ඔහු කියාගෙන ගියේය. .....ඔයයි දරුවයි නැති ජීවිතයක් මට වැඩක් නෑ" හිරාන් ඔහුගේ ශෝකාලාපය අවසන් කළේය.

" යන්න පුළුවන්"

හිරාන් ගල් ගැසුණේය.එදා තමන්ගේ බොරු දුක් මූඩ් එකකටත් ඕනෑම කැපකිරීමක් කළේ ඇයම ද?ඔහු නොසෙල්වී බලා සිටියේය.

"සෙකියුරිටි!"

            ඔහු සිහි එළවා ගත්තේය.ඔව් ඇය තමන් එළවා ගන්නට යයි.ඔහු අවසන් තුරුම්පුව ගැසුවේය.ඇය මේ මවාගෙන සිටින තත්ත්වය තම සේවකයන් ඉදිරියේ බිඳ ගන්නේ නැත. කාමරයේ දොරට කිට්ටු වෙමින් හිරාන් කෑ ගැසුවේය.

"ඔය මගෙ දරුවා!!!"

චංචලා කට කොණින් හිනැහුනාය. "ඔප්පු කරන්න පුළුවන් ද?"

හිරාන්ට පණ නැති වී බිම ඇද වැටෙන්නට යන තමන්ව යදඬු වන් අත් දෙකකින් එළියට ඇද දමනු දැනුනේය.


Comments