තම තමන්ගේ වැඩ


  බසයෙන් බැස ගත් කසුන්  ලේන් එක දිගේ ආවේ පුංචි බලාපොරොත්තුවක් සහිතවය. ගේට්ටුව උදේ තමන් වසා ගිය හැටියටම තිබේ.කසුන් දිග හුස්මකින් බලාපොරොත්තුව  දිය කර හැරියේය.

                    ජනෙල් වසා ගිය නිසා ගෙතුළ පුස් ගඳ ය.උදේ හදිසියට පුටුව උඩ දමා ගිය තුවාය තාම තෙතය.රෑ ඇන්ද සරම බෝල කූඩුවට විසි කළාට බිමට වැටී ඇත.කොස්සක් නොදුටු බිම දූවිලි තට්ටු පිටින් ය.වෙනදා ඔහු එද්දී සියල්ල පිළිවෙලය. සුපිරිසිදුය. උණු තේ කෝප්පයක් ද සූදානම්ය.ඔහු නුහුරු ලෙස කේතලයට ටැප් එකෙන් වතුර ටිකක් දමා ස්විචය දැමුවේය.

සාගරී ගෙදර ගොස් දවස් තුනකි.ඔහුට මේ සියල්ල ඇරඹි ගිය සෙනසුරාදා මතක් විය.

                    රැකියාවේ ඊළඟ උසස්වීම වෙනුවෙන් කසුන් සෙනසුරාදා දිනවල ඩිප්ලෝමාවක් හදාරයි.එයට විවිධ රැකියා කරන අය සහභාගි වෙති.එහි දුන් කණ්ඩායම් ව්‍යාපෘතිය කසුන් ඇතුළු කණ්ඩායම තවම අවසන් නැත.හතර දෙනා සේවය කරන්නේ ආයතන හතරක නිසා මුණ ගැහෙන්නේ සෙනසුරාදාට පමණි.

"මෙහෙම කෙක්කෙන් කතා කර කර එසයිමන්ට්  කරන්න බෑ.අපි එක දවසක සෙට් වෙන්න ඕන"දසිත් කීවේය.

"ලබන සතියෙ ක්ලෝසින් ඩේට්. හෙට ම හදමු"තාරක ද කීය.

"එහෙනම් හෙට එන්න අපේ ගෙදර."අකිල ආරාධනා කළේය.

පසුවදා උදේම තිදෙනා කතා කරගත්  තැනකට එකතු වී තාරකගේ කුඩා මෝටර් රථයෙන් අකිලගේ නිවසට පිටත් වූහ.

අත පිහ දමමින් දොර ඇරියේ අකිල ය.

"පාර හොයා ගන්න අමාරු වුණේ නෑ නේද? ඉඳ ගන්න.මං විනාඩියෙන් එන්නම්"අකිල ඔවුන් සාලයේ තබා ගෙතුළට ගියේය.

"කෝ වයිෆ් නැද්ද ගෙදර?" කසුන් වටපිට බලමින් ඇසුවේය.

"ඊයෙ හවස මාකට් ගිහින් එද්දි වාහනේ අමුතු සද්දයක් වගේ ඇහුනා.නිරූ උදේ ඉඳන් ඒක හදනවා"

කසුන් විස්මය නිසා පුටුවෙන් නැගිටුන තරම ය.

"ශහ්....වයිෆ් දන්නවද වාහන ගැන?" දසිත් ඇසුවේය.

"එයාගෙ තාත්තාට තමයි ඒ පැත්තෙ ලොකුම ගරාජ් එක තියෙන්නෙ. අක්කටයි මල්ලිටයි වාහනේක සද්දෙන් කියන්න පුළුවන් වැරැද්ද තියෙන තැන." ආඩම්බරයෙන් කියමින් අකිල තේ හදාගෙන ආවේය.

"අපොයි උඹ තේත් හදනවද?"කසුන් පුදුම වූයේය.

"තේ විතරක් නෙවේ අද ඉව්වෙත් මං තමා.නිරූ ඔය මජං ගොඩෙන් එළියට එද්දි කීය වෙයිද දන්නෙ නෑ"

"හරි, වැඩේ පටන් ගමු"බිරිඳටත් තේ එකක් ගිහින් දී ආ අකිල කිසි වෙනසක් නැතිව පැවරුම  කරන්නට එකතු වූයේය.

දවල් කෑම වෙලාවට නිරූපා ද වාහනය සාදා අවසන් කර ඔවුන් හා එකතු විය.

"වාහනේ ලොකු රෙපෙයාර් එකක් ද අක්කා?" තාරක ඇසුවේය.

"ටිකක් ලොකු වැඩක්.මුලදිම දැක්ක නිසා හොඳට ගියා."ඇය වෙනසක් නැතිව කීවාය.

 හවස් වෙද්දී වැඩ අවසන් කර ගත හැකි විය.නිවසින් පිට වනතුරු  නිහඬ ව සිටි කසුන් වාහනය පිටත් වූ වෙලාවේ සිට ම උස් හඬින් හිනා වුනේය.

"අපොයි දෙයියනේ අකිලට මොන ඩිප්ලෝමාද?ගවුමක් ඇඳන් ගෑණු ඉස්කෝලෙකට ගිහින් ගෘහ විද්‍යාව, මැහුම් ගෙතුම් ඉගෙන ගන්න තියෙන්නෙ. පිරිමින්ටත් ලැජ්ජයි. ඔන්න මල්ලිලා කසාදයක් බඳිද්දී හරි හමන් කෙල්ලක් හොඳට හොයල බලන්න"

"ගෙදර ම මැකෑනික් කෙනෙක් ඉන්න එක නම් හරි වාසී.පිටි තැනකින් හදන්න ලොකු ගානක් යයි" තාරක කීවේය.

"අනික විශ්වාසේ.....කවුද දන්නෙ පිට මිනිස්සු  ඔරිජිනල් පාට්ස්ම දානවද කියලා"දසිත් කීවේය.

ඔවුන්  එකහෙලා තමන් ව අනුමත කරනු ඇතැයි සිතූ කසුන් මොහොතක් ගොළු වුණේය.

"දන්නවා නම් හැදුවට කමක් නෑ......ඒත් මිනිහා ගෑණි වගේ මොකටද කුස්සියට රිංගන්නෙ.අපිට කලින් කිව්වා නම් කෑම  අරන් එනවනෙ.නැත්නම් රෙස්ටුරන්ට් එකකින් ගෙන්න ගන්න තිබුණා.ශිහ් මොන ලැජ්ජා නැති වැඩක් ද. ඔන්න මල්ලිලා ඕවා ආදර්ශෙට ගන්න එපා. ........අපේ ගෙදර  නම් මං වැඩ බෙදලා තියෙන්නෙ හරිම තිතට නූලට.මං ගෑණු වැඩ නිකංවත් කරන්නෙ නෑ. එයා මගෙ වැඩ කරන්න එන්නෙත් නෑ. ඕවා කලවම් කර ගත්තාම තමා නිසි තැන්, හිමි තැන් කිය කියා පස්සෙ ප්‍රශ්න එන්නෙ"

එයට පිළිතුරක් දෙන්නට පෙර දසිත්ට කෝල් එකකි.

"නෑ මේ එන ගමන්.................අහ් එහෙමද....සුමනෙ අයියගෙ ත්‍රීවීල් එක ඇති නේද...........එහෙමත් එකක් ද ......... ස්කූටිය අරන් එනවකෝ  එහෙනම් කඩේ ගාවට..........ආ එකට දෙකක් අරන් දෙන්නම්"දසිත් සිනා සිසී ඇමතුම නිමා කළේය.

"අවුලක්ද මචං?"තාරක ඇසුවේය.

"අපේ පාරෙ බස් එක නෑලු හවස ටර්න් එක.මං නංගිට එන්න කිව්ව ස්කූටරේ. ඔන්න ඔතන පොඩ්ඩක් නවත්තන්න. ලොකු චොක්ලට් එකක් ඉල්ලනවා ගාස්තුව "දසිත් කීවේය.

Shanika Tennakoon

"හා කවදහරි දසිත්ගෙ මස්සිනාත් පව් ඈ. මගේ වයිෆ් නම් මෝටසයිකල් ගැන දන්නෙ මගෙ පිටිපස්සෙ වාඩි වෙලා යන්න විතරයි.ගෑණු පිරිමින්ගෙ වැඩ කරන්න ගියාම මහ කරදර ඉස්සරහට" කසුන් තවත් වරක් මහ හඬින් හිනැහුනේය.

මඳ අඳුර පෙනි පෙනී දසිත් හා කසුන් ටවුමෙන් බස්සවා තාරක කාරය හරවා ගත්තේය.ඔහුට සෑහෙන දුරක් යාමට ඇත.බස් හෝල්ට් එකට යද්දී දසිත්ගේ සොයුරිය දන්නා හඳුනන කඩයක් ළඟ නතර වී සිටියාය.ඇගේ පිටුපසින් මෝටර් සයිකලයට නැගී දසිත් සමු ගත්තේය.

කසුන් තනිව බස් හෝල්ට් ගියේ තමන් එක්කම හිනා වෙමිනි.පිරිමිකමටත් ලැජ්ජයි ගෑණුන්ගෙ පිටිපස්සෙ බයික් වල නැගගෙන යන හැටි. මොක්කුද මන්දා දැන් හැදෙන කොල්ලොත් ගෑණු වගේ........

බස් හෝල්ට් එකේ සෙනග පිරී ඇත. බොහෝ වේලාවකින් බස් එකක් නැතිවා වගේය.වැහි අඳුරක් ද පැතිරේ.අතේ කුඩයක්වත් නැත. සාගරීත් මෝටර් සයිකල් පදින්න ලර්නර්ස් යන්න ඇහූ හැටිත් තමන් එය නොසලකා සිටි හැටිත් යාන්තමට මතක් විය.වැහි පොද එක දෙක වැටෙයි.කුමක් කරන්නදැයි නොඉවසිල්ලෙන්  සිටියදී සෙනග පිරවූ බසයක් පිඹගෙන ආවේය. කසුන් පොරකාගෙන ඇතුළට රිංගා ගත්තේය. කොතරම් සෙනග පිරුණත් සෑහීමක් නැති බසය ගාට ගාටා සෙනග එකතු කරමින් කිලෝමීටර් හයක් යාමට පැය බාගයකට වඩා ගත්තේය.කසුන් බහින තැනින් බසයෙන් පැන ගනිද්දී වැස්ස තද කර ඇත.හාත්පස ගණ අඳුරුය.තව මීටර් පන්සීයක් පමණ පයින් යන්නත් ඇත.

ඔහු වසා තිබූ කඩයක අගුවට ගොඩ වුණේය.වහලට වැහිපොද වැටෙන මහ හඬ නිසා ෆෝන් එකේ නාදය ඇසුනේ ද

යන්තමිනි.සාගරී ය.

"කොහෙද ඉන්නෙ.මං කෝල් කීයක් ගත්තාද?"

"දැනුයි බස් එකෙන් බැස්සෙ.වහිනවා එන්න විදියක් නෑ."

"එද්දි  ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් හොයා ගෙන එනවද?"

"මේ වෙලාවෙ කොහෙන්ද ඉලෙක්ට්‍රිශියන්ලා හොයන්නෙ.ඇයි මොකද උනේ?"

"හවස අවන් එක ඔන් කරන්න යද්දි කුස්සියෙයි,වොශ් රූම් එකෙයි එක පාරටම කරන්ට් ගියා"

"ආ...පියුස් එකක් ගිහින් ඇත්තෙ.අවන් එකේ ප්ලග් එක බිත්තියෙන් ගලවලා අයින් කරන්න. කුස්සියෙයි, වොශ් රූම් එකෙයි ඔක්කොම ස්විච් ඕෆ් කරලා........"

"අනේ මට ඔය නොදන්න වැඩ කරන්න බෑ.ඔයා ඇවිත් බලන්න.............ආ ලයිට් නැතුව  මට උයන්න බැරි උනා. කොත්තුවක්වත් අරන් එන්න."

වැස්සත් අඳුරත් මහන්සියත් මැද ඔහුට යකා වැහුනේය.එදා ගෙදර ගොස් සිදු වූ කතා බහේ ප්‍රතිඵලය වූයේ සාගරී පහුවදා උදේම මහ ගෙදර යාමයි.

කසුන් සුසුමක් හෙළුවේය.වතුර උණු වී නිවෙන්නටත් පටන් අරන් ය.ඔහු  කෝප්පයට වතුර වක්කර තේ කොළ හා සීනි හිතේ මිම්මට දමා හැඳි ගෑවේය.උගුරක් බීවේය.මෙලෝ රහක් නැත.ඉතිරි ටික විසි කර කෝප්පය හෝදා තැබුවේය.

"ශෝට් ලීව්  දාලා හෙට සාගරීව එක්ක එන්න යන්න ඕන.මීට පස්සෙ නම් උයද්දි මමත් උදව් කරනවා. ලර්නර්ස් එකේ මල්ලිටත් අද කෝල් එකක් දෙන්න ඕන" ඔහු තමන්ටම කියා ගත්තේය.

 

Shanika Tennakoon

 

Comments