අඳුර විනිවිද

 


යහළුවන් පස් දෙනා අවන්හලට ගොඩ වුණේ ඩිප්ලෝමා විභාගය නිම වීමේ ප්‍රීතිය සමරන්නටය.

" යාන්තම් කොටි වලිගෙන් ගැලවුණා ..... නිවන් දකිනවා කියන්නෙත් මෙහෙම වෙන්න ඇති බං" සමීර දෑත් විහිදා දිග සුසුමක් හෙලුවේය.

"මං  හිතුවෙම සිල්වා කාරයා කියපු හැටියට අපිව අන්නලා ඇති කියල.ඒ තරම් අවුලක් නෑ නේද පේපර් එක." ඉරේශ් කීවේය.

"ඒ වුණාට මට නම් සෙකන්ඩ් පේපර් එක අවුල් ගියා......උඹලා එකෙක්වත් හිටියෙ නෑ අහල පහල වත්" අසිත නොසතුටින් කීය.

"හිටියා කියල වැඩක් යැ බං......එක්සෑම් ඩියුටි හිටිය වීරසේකර උන්දැට තියෙන්නෙ අංජනං පේන ඇස් දෙකක්. අපි හිතද්දි එයා දන්නවා.මුලු සෙමෙස්ටර් එක ම රිපීට් කරල තමා පස්ස බලන්නෙ අහු වුණා නම්"ගගන මතක් කළේය.

"ඔය මදෑ බං විභාගෙ ගැන කියෙව්වා. අපි ආවෙ ඕක ඉවර වීමේ ප්‍රීතිය සමරන්න නේද...........මොනවද ඕඩර් කරන්නෙ?"

"උඹල කාපල්ල.මං යන්න ඕන"මෙතෙක් නිහඬ ව සිනා සිසී හිටි අවින්ද නැගිට්ටේය.

"ඒ මොකද?මෙන්න මේ ඉඳගනිං.අදවත් ෆන් එකේ ඉඳිං"

"මට බෑ වගේ.උඹලා එන්ජෝයි කරපල්ලා"අවින්ද පිට ව ගියේය.

"ඔහොම ඉඳිං.මාත් එනවා"අවින්ද පිට ව යන හැටි තත්පර ගානක් බලා සිටි ගගන ද ඒ පසුපස වැටුනේය.

"ඒයි ඒයි බ.ලු වැඩ කරන්න එපා. උඹල දෙන්නම පාටිය අල කරල කොහෙද යන්න හදන්නෙ?"

"මං එන්නං මූ ව පාරට දාලා"ගගන කියාගෙන එළියට දිව්වේය.

"අවින්දයා අවු.ලකද බං ඉන්නෙ?"

"අසයිමන්ට් වගයක් දෙන්න පරක්කු උනාට බන්දුලයා කෑ ගහලා ක්ලාස් එක මැද්දෙ.එවෙලෙ ඉඳන් ඌ අවු.ල් ගිහින්. පිස්සෙක්.ඕක මොකක්ද?"

"අ.ඩෝ දුංබලයාගෙන් බැ.ණුමක් නාහපු කෙනෙක් නම් ඌ ඩිප් එක කරල නෑ කියල සින්නොත් කියන්නෙ.අවින්දයාට මොන ප්‍රශ්න ද බං.අපිට වගේයැ මොනවයින් අඩුවක් ද?"

"ඕකට තරුෂිගෙ ප්‍රශ්නෙත් තියෙනවා ඇති.ඒකිත් මූව වටේ යවනවා විතරයි වගේ"

"අද ඌ කළේ කැත වැඩේ.මොකක්ද ඌටයි ගගනයාටයි අපිට හොරෙන් කුම.න්ත්‍රණය කරන්න තියෙන්නෙ?"

"එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕක තමා මල්ලි.උන්ට හොඳ නම් අපිට මොකෝ.අපේ ආතල් එක අපි ගමු"

ඉතිරි වූ තිදෙනා පිටව ගිය දෙදෙනාගේ පතුරු අරිමින් විභාග අවසන් ප්‍රීතිය සමරා බෝඩිමට ආවේ මහ රෑ ය.

"කෝ බං ගගනයා තාම ඇවිත් නෑනෙ"

"එකත් එකටම ඕකුන් දෙන්නා වෙන හොඳ පොට් එකකට සෙට් වෙලා ඇති. බලපං එකෙක්ගෙ ෆෝන් එක ඕෆ් කරලා.අනිකා ආන්සර් කරන්නෙ නෑ"දෙදෙනාටම ඇමතුම් දී බැලූ සමීර කීවේය.

"හා බලමුකෝ.........ඕකා කීයට හරි බෝඩිමට එන්න එපැයි"

--------Shanika Tennakoon-----------

ඇඳට වැටුන තුන් දෙනාගෙන් පහුවදා පරක්කු වී හෝ මුලින් ම ඇස් ඇරුණේ සමීරටය.

ඊයේ රෑ සිහි වූයෙන් ඔහු ගගනගේ ඇඳ දෙස බැලුවේය.

"හා මේං ඇවිල්ලා...... කඩාකප්පල්කාරයා.ඊයේ තරහින් ම ඔහු කෑගැසුවේ අනෙක් සියල්ලන් ද ඇහැරවමිනි.

"උඹ අරූ ව පාරට දාලා එන්නං කිව්වෙ  රටේ එහා කෙළවරේ පාරකටද ගිහින් දැම්මෙ.අපි නැතුව පාටි දාන්න ඕන කිව්ව නම්  ඉවරනෙ"

" අපිට නොදී අලුත් බ්‍රෑන්ඩ් එකක් ද ටෙස් කරල බැලුවෙ "

"මොකද්ද අපිට හොරා දෙන්නගෙ හතර කන් මන්ත්‍රණේ?"

"උඹල එහෙම නම් හිතන්නෙ එහෙම ම හිතපල්ලා"තුන් දෙනාම එකවර කියවද්දී ගගන තදින් කීවේය.

"එහෙනම් දෙන්නම ෆෝන් ආන්සර් නොකර මොනවද කළේ?"

"කෝල් කරන මූඩ් එකක් තිබුනෙ නෑ.රෑ දෙක වෙනකල් මං උගෙ කතාව අහන් හිටියා"

"අප්පට සිරි මේං අලුත් දුක් ගන්නා රාළ කෙනෙක්.......අපේ ප්‍රශ්නත් අහපංකෝ. අපිට තියෙන ප්‍රශ්න වල හැටියට  අවින්දයාට මොනවද තියෙන ප්‍රශ්න. බොරුවට හිතෙන් හදා ගත්තුවා. හහ්...හහ්...හා"

දෑත දෙපසට වීසි කරමින් කතා කරන සමීර එක වර ම වේදනාවෙන් කෑගැසුවේය.ඔහුගේ අත වේගයෙන් බිත්තියේ වැදී ඇත.

"අනේ බබා.....ඕකටත් කෑ ගහන්න ඕනද?" ගගන සිනාසුනේය.

"ය.කෝ මේ ගිය පාර කැඩුණ අත. උඹලට මොකද.මටනෙ රිදෙන්නෙ"සමීර යටි තොළ හපාගෙන රි.දෙන අත අනෙක් අතින් අල්ලාගෙන එතන ම වාඩි වූයේය.

"ආ අන්න උඹට තේරුණා.තමන්ගෙ තුවාලෙ රි.දෙන්නෙ තමන්ට.අනුන්ට ගානක් නෑ ඒකෙ."

"හා හා ඉතිං මොනවද උඹට හම්බ වුණේ අවින්දයාගෙ දුක අහන් ඉඳලා" ඉරේශ් කට කොනින් සිනාසුනේය.

"හම්බ වුණේ?හම්බ වුණේ උගෙ ජීවිතේ"ගගන ඊයේ රෑ ලාච්චුවේ දැමූ කුඩා කුප්පියක් අතට ගෙන පෙන්නුවේය.....

"උගෙ කතාව අහන් ඉඳලා  එන්න නැගිටිද්දි ඌ මට මේක දුන්නෙ උඹ නොහිටින්න මං අද මේක බොන්න හිටියෙ කියල"

අසිත ළං වී බැලුවේය.අම්මා හෙදියක් නිසා ඔහු සාමාන්‍යයෙන් බෙහෙත් වර්ග අඳුනයි.

"අඩෝ මේ හයි ඩෝස් පේන් කිලර් එකක්නේ.බිව්ව නං සෙත්තපෝච්චි තමා"

තිදෙනා ම තැතිගත් මුහුණෙන් ගගන දෙස බලා සිටියහ.

"ඒ බං අවින්දයා හිනා වෙවී කතා කර කර ඉන්නකොට කවුද හිතන්නෙ ඕකා සූසයිඩ් කර ගන්න තරම් සීරියස් කේස් එකක් වෙලා ඇති කියල.......උඹට දිවැස් තියෙනවාද.මාර පිනක් කර ගත්තෙ"

"පින් මම දන්නෙ නෑ.හැබැයි ජීවිත කාලෙ ම විඳවන්න තිබුණ පසු.තැවිල්ලකින් ගැලවුණා"ගගන සුසුමක් හෙළා කියද්දී තිදෙනාම නිහඬව එකඟ වූහ.

 




Comments