මස්සිනා

 



                    වයස විසි පහක් වූ නේරංජනගේ යහළුවන් දැන් ඔහු හමු වීමට ආවිට තාත්තා වැඩිය විපරම් කරන්නේ නැත. හොඳ නරක තේරුම් ගත හැකි  වයසකි. සියල්ලෝ රැකියා හෝ උසස් අධ්‍යාපනයේ නිරත වෙති. පිරිස එකතු වී ඝෝෂා කිරීම තරමක් කරදරකාරී වුවත් හමු වීමට වෙන වෙන දිහා වල නොගොස් ගෙදරට ඒම ඔහුට සැනසීමකි.

නමුත් අද නම් ඔහුට එසේ සිටිය නොහැකි බවකි.

"කාටද පුතාල මේ හයියෙන් හයියෙන් බනින්නෙ?"

"ආ අංකල්......"කීප දෙනෙක් වඩා සංවර ඉරියව් වලට එමින් නිහඬ වූහ.

"නෑ තාත්තෙ අර දමිතයාට රට ගිහින් ආවට පස්සෙ අං ඇවිල්ලා"නේරංජන කීවේය.

"ඇයි ඔයාලව ගණන් ගන්නෙ නැද්ද?"

"අපිට ලොකුකම් පෙන්නුවත් කමක් නෑ........උගෙ නංගි යාළු වෙලා හිටියෙ අපේ ජනකයා එක්ක.ඌ රට ගිහින් ආවට පස්සෙ ජනකයා අත අරින්න කියලලු"

"ඉස්සර නම් කිව්වෙ කොහොමද.දන්න එකෙක් ම මස්සිනා වෙන එක මාර ෆිට්.එතකොට නංගි තරහ උනත් ඌ මගෙ පැත්තට ඉන්නවා........"

"මම නං යන්නෙ නෑ ඕකගෙ මූණවත් බලන්න.ජනකයාට ඔහොම කළා නම් අපි මොක්කුද?"

"පව් අරූ දවස තිස්සෙ වි.රහ දුක ශෙයා කර කර බි.බී නහිනවා."

"අයිය කැමති ඥෑ ඥෑ ගෑවට කෙල්ලට ද දන්නෙ නෑ බං ඌව දැන් මදි වෙලා තියෙන්නෙ.ළඟදි ප්‍රමෝශන් එකකුත් හම්බ වුණා ඒකිට ඔෆිස් එකේ"

---------------Shanika Tennakoon----------------

"ඔයාලගෙ යාළුවා කොහෙද වැඩ කරන්නෙ?"කතා වලට කන් දී සිටි තාත්තා ඇසුවේය.

"ජනකයාට ජොබ් හරි යන්නෙ නෑ අංකල්.ගිය හැම තැන ම ටික දවසයි දාලා එනවා මොකක් හරි කියන්."

"ඇයි කොරියන් යන්න නේද හදන්නෙ?" නෙරංජන් ඇසුවේය.

"කෙල්ලගෙ ඕනකමට කාලයක් ඒකටත් ක්ලාස් ගියා.ක්ලාස් ආපු එකෙක් එක්ක පැටලිලා පො.ලිසි නොයා බේරුනේ බොහොම අමාරුවෙන්. .....ඕවට එන්නෙ එක එක ජාති වල මිනිස්සු නෙ"

"ඊට පස්සෙ අපේ මාමාගෙ කඩ කාමරයක් කුලියට අරන් ග්‍රොසරියක් දාලා දෙන්න අහ අහ හිටියෙ ඔය කෙල්ලමයි.ඒකත් අනේ මන්දා"

"මොනව වුණත් දමිතයා නැති කර ගත්තෙ රත්තරං මස්සිනෙක්.ඕකට තේරෙයි දවසක ලොකු අතු අල්ලන්න ගිහින්"

"විදූෂ පුතා ඉස්සර අපි ඔයාලගෙ ගෙවල් ගාව ඉන්න කාලේ ලේන් එකටම ඇහෙන්න සිංදු කිව්ව නංගි දැන් මොනවද කරන්නෙ?"

තාත්තා මාතෘකාව වෙනස් කළේය.

"ආ අංකල්ට තාම මතකද?.......මේ අවුරුද්දේ ඒ ලෙවල්.තාමත් ඉතිං ගීතේ විතරයි. .......ඉස්කෝලේ හැම මියුසික් අයිටම් එකක් ම හොය හොය යනවා. මට බයේ බෑ විභාගෙ ඇණ ගනී කියල."විදූෂ කීවේය.

"උඹේ නංගි කරන්නෙ ප්‍රයෝජනයක් තියෙන දෙයක් නෙ බං. අපේ ඩබල විභාගෙ ළං වෙන්න වෙන්න තරඟෙට නිදි.......මං බැ.ණ බැ.ණ හිටියෙ දිගම නින්දට ගිනස් වාර්තා තියන්න හදනවා කියල......අන්තිමට ලොක්කි බැංකුවට තේරුණා. පොඩ්ඩිටත් බෝට්ටුවෙන් රජරට කැම්පස් ආවා......"තවත් යහළුවෙක් ආඩම්බරයෙන්  කීවේය.

"අඩෝ නංගි රජරට ද බං අහු වුණේ. අපේ එකීත් එහෙට.අපි නම් ගිහින් බලන්න ඉන්නෙ ඒ පැත්තෙ විස්තර  පොඩ්ඩක්.උඹලත් යමං ඈ"

"කෙල්ලොනෙ බං ඇ.ණ ගන්නෙ නෑ. ....... අපේ නංගිලගෙත් වැඩ ඔහොමයි.අපේ ලේ පිච්චෙ.නවා උන්ගෙ කෝළම් වලට. හැබැයි අන්තිමට විභාගත් ගොඩ"තව කෙනෙක් කියද්දී ඉතිරි අය ද හිස වැනූහ.

"කට්ටියට ම නංගිලා ඉන්න එකේ මං පොඩි යෝජනාවක් කරන්න ද?"නැවතත් තාත්තා කතාව වෙනතක හැරෙව්වේය.

සියලු දෙනා ඔහු දෙස බැලූහ.

"දමිත නැති කර ගත්ත රත්තරං මස්සිනා ඔයාලගෙ පවුලකට එකතු කර ගත්තොත් හොඳයි නේද?"

අයියලාගේ මුහුණු වෙනස් වී එකිනෙකාගේ මුහුණු බැලූහ.අසාමාන්‍ය නිහඬතාවයක් පැතිර ගියේය.

"මචං අපි හෙටවත් යං දමිතයා බලල එන්න"බොහෝ වේලාවකට පසු නේරංජන කීවේය.

 

Shanika Tennakoon

Comments