ෂොපින් ගිහිං

 



            කාලයක් පෙරුම් පුරා යසස්මීත් මන්දිනාත් සෙනසුරාදා දවසක ඉහළ සමාජයේ රෙදි පිළි මාලිගයක් කියන තැනක ශොපින් ගියහ.ගන්නවාට වඩා අතගා ඇඟලා බලමින් එහා මෙහා යද්දී මන්දිනා යසස්මීට වැලමිටෙන් ඇන්නාය.

"අර බලපංකො ශොප් එක ම හිස් කරයි වගේ"

යසස්මී ඇය පෙන්වූ දෙස බැලූවත් සැනෙන් අහක බලා ගත්තාය.

හිස සිට දෙපතුළටම ධනේශ්වර බවින් දිස්න දුන් තරුණයෙක් යසස්මීලාට නම් බලා සැනසෙමි නෙළා ගනු බැරි සිහින වූ සාප්පුවකින් සාරි, ගවුම්, ස්කර්ට්, බ්ලවුස් තොග පිටින් තෝරා ගනියි.ඔහු පිටුපසින් තරුණියක් ද සිටියත් ඒ තේරීම් වලදී ඔහු ඇගෙන් කිසිත් ඇසුවේවත් ඇය දිහා බැලුවේවත් නැත.

"කවුරු වුණත් ඒවා ලබන කෙනා නම් මාර ලකී"මන්දිනා තමාටම මෙන් කියා ගත්තත් යසස්මී "ඇහෙයි බං" කියමින් ඇය ඉවතට ඇදගෙන ගියාය.කොහාට ගියත් හොරැහින් හෝ මන්දිනාගේ ඇස ඒ දෙදෙනා වෙත යොමු වී තිබුණේය.

වරුවක් ඇවිද දරාගත හැකි මුදලකට අයිතම කීපයක් මිල දී ගෙන එද්දී මුදල් ගෙවන කවුන්ටර තුනේම පෝලිම් කිලෝ මීටරයක් තරම් දිගට විය. දෙදෙනා ළඟම තිබූ පෝලිමට එකතු වූහ.

"අහ්.....මට පර්ෆියුම් එකක් බලන්න ඕන"යසස්මී මන්දිනාව පෝලිමේ තියා ලහි ලහියේ ආපසු හැරුණාය.

            මන්දිනා කාලය ගෙවා ගැනීමට වටපිට සිටින අයගේ හැසිරීම් රටා බලමින් සිටියාය.නැවත ඇගේ ඇසට අර තරුණිය පෙනුනේ එහා පෝලිමේ කෙළවරේය.ඇය විශාල මලු දෙකක් ද තම අත් බෑගය ද එල්ලාගෙන අහසින් වැටුණ පරිද්දෙන්  තනිවම පෝළිමේය. මන්දිනාගේ ඇස් ඇය හා ආ පිරිමියා සෙව්වේය.ඔහු කොණක ඇති සැප පුටුවක මහා රාජ ලීලාවෙන් ඉඳගෙන ෆෝන් එකේ ගණුදෙනුවකය.මන්දිනාට තරහක් දැනුනේය.මොන මිනිහෙක් ද.... මේ සෙක්ට්‍රිද,සර්වන්ට්ද,පර්සනල් ඇසිස්ටන්ට් ද කවුද අදාල නෑ කෙල්ලක් නේ.මූ මහ රාජා වගේ ඉන්න හැටි"

ඇයට කලින් මන්දිනා සිටි පෝළිම ඉදිරියට ඇදුන නිසා අවසන් මොහොතේ වත් ඔහු නැගිට ඇය අසලට ආවාදැයි ඇය දුටුවේ නැත.

" අපි පල්ලැහැ තට්ටුවේ ෆුඩ් කෝනර් එකෙන් අයිස්ක්‍රීම් එකක්වත් කාලා යං.... මේ වගේ තැනකින් ආයෙ කවදා කන්නද?"

එතැනින් පිට වන්නට පුදුම හදිසියක් එක වරම මතු වී තිබුණ යසස්මිගේ මුහුණේ අඳුරු වළා මතු වෙද්දී මන්දිනා ඇයත් ඇදගෙන දුවන පඩිපෙළ වෙත ගියාය.

"අම්මෝ පිටින් කෑවා නම් අයිස්ක්‍රීම් ලීටරයක් ගන්න තිබුණා..... පොඩ්ඩක් ඉඳිං මං මේකත් එක්ක සෙල්ෆියක් ගන්නකල්" මන්දිනා එහෙට මෙහෙට හැරෙමින් ෆොටෝ ගත්තාය.

"අනික් උන් දැන ගන්නත් එපැයි අපි මෙහෙම තැන් වලිනුත් කන බොන බව"

            මන්දිරා මෙතෙක් ගත් ෆොටෝ වලින් හොඳ ඒවා තේරුවාය.එක් ෆොටෝ එකක් දෙස විමසිල්ලෙන් බලා වහා පිටුපස බැලුවාය.ඔවුන්ට පිටුපස මේසයක කෑම ගන්නා අර අපූරු යුවළ ඇගේ කැමරා කාචයේ සටහන් වී ඇත. මෙතනට නිතර ආ පුරුද්ද ඇති තරුණයා වටපිට නොබලා කාගෙන කාගෙන යයි. තරුණිය ඔහු අසල වාඩි වී හෙමින් හෙමින් අමාරුවෙන් මෙන් කටක් දෙකක් කයි.ඒ ගැන යමක්  කියන්නට මන්දිනා යසස්මී දෙස බැලුවත් ඇගේ රකුසු මූණ දැක අදහස වෙනස් කළාය.

"උඹ වොශ් රූම් යනවාද?"යසස්මිගේ මූණ තව ටිකක් කළු වෙද්දී මන්දිනා ඇසුවාය.

" මං ගිහින් එන්නම්.මේ බෑග් ටික තියා ගන්න."ඇය හෑන්ඩ් බෑග් එක පමණක් රැගෙන ශාලාවේ ඒ පැත්තට ගියාය.

මන්දිනාට ඕනෑ වූයේ වොශ් රූම් යන්න නොවේ.මෙවන් හයි ක්ලාස් තැන් වල වොශ් රූම් ද ඒ තත්ත්වයේ බව අසා තිබුණ නිසා එය ඇත්තද දැන ගන්නය.

"මරුනේ....අපේ ගෙවල් වල සාලෙවත් නෑ මේ තරම් කැටයම්" වෙන කිසිවෙක් අසලක නොවීම ගැන පින් දිදී මන්දිනා නොයෙක් ඉරියව් වලින් ෆොටෝ ගත්තාය.ටිකකින් තමන්ගේ පිටුපස කෙනෙක් සිටින බව දැනුනෙන් හැරී බැලුවාය.අර තරුණියයි.මන්දිනාට ලැජ්ජා සිතුනේය.ඇය තරුණියට ඉඩ දී එහාට වූවාය.මන්දිනාගේ වගක්වත් නොදකින තරම් හදිසියකින් සිටි ඇය වහා එක් වැසිකිළියක් තුළට වැදුනාය.දොරවත් ලොක් කිරීමට කාලයක් නොවීය.ඇය මහ හඬින් වමනය කරන හඬ ඇසුනේය.

            මන්දිනා ගැස්සුණාය.තනිව කුමක් කරන්නද?හඬ නවතින තුරු සිට සෙමින් දොර ගාවට ඇදුනාය.තරුණිය බිත්තියට වත්තම් වෙමින් එළියට ආවාය.ඇයට තාමත් අමාරු පාටය.එක් වර ම ඇය බිම ඇද වැටෙන්නට ගියෙන් මන්දිනා වහා ඇගේ අතින් අල්ලා වත්තම් කර ගත්තාය. මුහුණේ වතුර ගෑවාය,ඔළුව අත ගෑවාය,පිට අත ගෑවාය,හෑන්ඩ් බෑග් එකේ තිබූ නෝට් පොතකින් පවන් ගැසුවාය.හරි කියා සිතූ සියලු ප්‍රථමාධාර කළාය.අවසානයේ ඇය සාමාන්‍ය තත්ත්වයට එන බව පෙණුනි.

"ඔයත් එක්ක ආව කෙනාට එන්න කියන්නද?"

ඇය ව කාට හෝ බාර දිය යුතු යයි සිතුණෙන් මන්දිනා ඇසුවාය.

"අපෝ එපා.....මට දැන් හොඳයි.ඔයාට බොහොම ස්තූතියි.මං යන්නම්" ඇය වහා කියා පියවරක් පෙරට තැබුවත් වැටෙන්නට ගියාය.

"ඔයාට තාම අමාරුයි.තව ටිකක් ඔහොම ම ඉන්න.........ඒ ඇවිත් ඉන්නෙ ඔයාගෙ කවුද?" මන්දිනා මෙතෙක් තමන්ගේ හිතට වද දුන් ප්‍රශ්නය  ඇසුවාය.

"ඒ මං බඳින්න ඉන්න කෙනා"

මන්දිනාගේ ඇසුත් කටත් එක සේ ඇරුණේය. කිසිසේත්ම නොසිතූ උත්තරයකි.

"ගෙදරින් කතා කරපු කෙනෙක් නේද?"එසේ ඇසීම අවිනීත යයි සිතුණත් මන්දිනාට එය නොඅසා බැරි විය.

ඔයා කොහොමද දන්නේ ලීලාවෙන් ඇය බලා සිටියාය.

"නෑ ඉතිං තමන්ට වහලියක් වගේ සලකන බව පෙනි පෙනී මොන කෙල්ල ද ඔහොම කෙනෙක්ව බඳින්නත් කැමති වෙන්නෙ" ඇගේ නෝන්ජල්කම ගැන උපන් තරහින්  කියා දැමුවත් තරුණිය බලා ඉන්නා හැටියට ඊළඟ මොහොතේ ඇය ගැන දුක සිතුනේය.

"ඒ වගේ කෙනෙක් එක්ක මෙහෙම අසනීපෙන් ඉඳන් යන්න දෙන එක මගෙ හිතට අවුල්." ඇය නෝට් පොතේ කොළයක තමන්ගේ දුරකථන අංකය ලියා ඇයට දුන්නාය.

" මට ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න"

ස්තූති පූර්වක ව බලා පිට ව යන තරුණිය දෙස ටික වේලාවක් බලා සිට මන්දිනා නැවත එද්දී තරහෙන් පුපුරන යසස්මී දෙදෙනාගේම බෑග් උස්සාගෙන දොරකඩය.

" උඹ නානවද ඔතන?යමං දැන්වත්"

නැවත බෝඩිමට එනතුරු ම ඒ ගැන කිසිම කතාවක් සිදු නොවීය.

"ශොප් එකේ හිටිය කපල් එකේ කෙල්ල....."මන්දිනා කතාව පටන් ගත්තත්,

"මෝඩි,ගිය අවුරුද්දේ මැරේජ් ප්‍රපෝසල් සයිට් එකකින් මට මීට් වුණ සෝබනදාසයා ඒ"යසස්මී මැදින් පැන්නාය.

එක දවසට දෙපාරක් මන්දිනා හුස්ම හිරවෙන තරමට පුදුම වූවාය.

"හෑ.....මට කලින් කියන්න එපැයි"

"නොකියා උඹ ඔය හැටි ඕකා දිහා බලා හිටියා නම් කිව්වා නම් ගිහිල්ලත් කතා කරයි."

"ඒ කාලෙත් මිනිහා ඔය ටයිප් ද?"

" මාසයක් විතර ෆෝන් එකෙන් කතා කරල මීට් වෙන්න රෙස්ටුරන්ට් එකකට ගියා.මං ගිහින් ඉඳ ගනිද්දිම මූ දෙන්නටම ඕඩර් කරලත් ඉවරයි. අන්තිමට කවදාවත් නොබොන පපායා ජූස් එකකින් උගුරක් බීලා, මට්න් පේස්ට්‍රි එකක වටේ ක්‍රස්ට් එක විතරක් කාලා වීල් එකක් අරන් මං ගෙදර ආවා.ආ ගමන් මෑන්ට මැසේජ් එකක් දාලා ඔක්කෝම කනෙක්ශන් වලින් බ්ලොක් කළා.අද ඉන්න ඇත්තෙත් වයිෆ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි. මං බලාගෙන මූ හරකෙක් වගේ කාගෙන කාගෙන ගියාට ඒ කෙල්ල අප්පිරියාවෙන් හිටි හැටි."

උදේ සිට හිර කරගෙන සිටි සියල්ල යසස්මී කියාගෙන යද්දී මන්දිනාගේ ඔළුවේ දෙමෝලෙන් පිටි කෙටුණේය. දුරකථන අංකය දීම වැඩි වැඩක් වගේත් පෙනුනේය.

******************************************

ඉරිදා මන්දිනා උඩ විසි වී ඇහැරුණේ දුරකථනයේ නාදයෙනි.

"කවුද මේ පාන්දර?"නිදිමතේම එය අතට ගත්තත් නොම්බරය ඇගේ නිදිමත පහ කළේය.

"ආ සඳමාලි,ඔව්....ආ නෑ.......හා එහෙමද .......ඉතිං.........එහෙම කිව්වද...........ඒක තමයි නේද................."

"කවුද ඒ අපි නොදන්න සඳමාලි??"සෑහෙන දිග ඇමතුමකට හූමිටි පමණක් තියා හොර බැල්මක් හෙළාගෙන සිටින මන්දිනාගෙන් යසස්මී ඇසුවාය.ඊයේ සිදුවීම ගැන ඇය කීවේ එවෙලේය.

"උඹ මාර වැඩ තමා කරන්නෙ.ඒ කෙල්ල අරූට දුන්නා නම් නම්බර් එක?අනික අපිට මොකද"

"මං ඒක එච්චර හිතුවෙ නෑ.........කවුද ඒ මෑන්ගෙ ඉතිහාස කතා දන්නෙ"

"දැන්ද ඒ කෙල්ල ගෙදර ගියා කියන්න කතා කළේ"

"නෑ නෑ ඊයෙ හවස හොඳින් ගෙදර ගියා කියල මට තෑන්ක්ස් කරල මැසේජ් එකක් දාලා තිබුණා...............ගෙදර ආර්ථිකේට හයියක් වෙයි හිතාගෙනලු කැමති වුණේ.පොඩි පොඩි අවුල් තැන් ටිකක් තිබ්බට හිත හදා ගෙනලු හිටියෙ එයාල සමාජ තත්ව දෙකක නිසා...... බඳින්නත් දින දාගෙනලු.එයා අම්මලාට ඊයෙ කිව්වලු  සල්ලි කොච්චරක් තිබුණත් ඔහොම මිනිහෙක් ඕන ම නෑ කියල.අරන් දුන්න තෑගි බෝගත් අද ම යවනවලු..........හ්ම් මට පව් සිද්ද වෙයිද බන් අනුන්ගෙ මගුලක් කඩලා"

"මට නම් හිතෙන්නෙ මෙච්චර කාලෙකට උඹ හිතන්නෙ බලන්නෙ නැතුව කරල තියෙන තකතීරු වැඩ වලින් යහපතක් උදා වෙච්ච එක ම දේ ඕක විතරයි"යසස්මී කට කොනකින් සිනාසුනාය.

 

Shanika Tennakoon

 

Comments