කැපකිරීම

 

                    පාසල් හැරගිය  අයට සහභාගි විය හැකි ලෙස පැවැත්වුණ අපේ ඉංග්‍රීසි පාඨමාලාවට නානාප්‍රකාර අය සහභාගි වූහ.පාසලෙන් අස් වූ ගමන් තාම කිසිම රැකියා හෝ විවාහ අරමුණක් නැති අපේ සෙට් එක මෙන් ම විවිධ වෘත්තිකයෝ ද මවු පියවරු ද සිටි එය කුඩා සමාජයක් විය.

සති අන්ත දවස් දෙකේ උදේ නවයේ සිට හවස පහ දක්වා පන්තිය පැවැත්වුණි.  සර්ගේ ආකර්ෂණීය ඉගැන්වීම් රටාවත්ලබා දෙන සහතිකයේ වටිනාකමත් නිසා  දුර බැහැර සිසුන් පවා මෙයට ආහ.

විදර්ශිකාත් සුමේධත් එසේ ඉතා දුෂ්කර තේ වතු ආශ්‍රිත ගමකින් ආ සිසුන් දෙදෙනෙකි.පන්ති පටන් ගන්නේ නවයට වුවත් අට වෙද්දී ඔවුන් ඇවිත් ය.

"අපේ පාරෙ බස් දෙකයි තියෙන්නෙ.උදේ ම බස් එකේ ආවම තමා මේ වෙලාවට එන්න පුළුවන්. ඊළඟ එකේ ආවොත් එකොළහවත් වෙයි එද්දි"සුමේධ  කීවේය.

 ඒ දෙන්නා හවස හතරහමාර වෙද්දී සර්ගෙන් අවසර ගෙන පන්තියෙන් පිටවෙති.ඒ ගමට යන අවසන් බසය අල්ලා ගන්නටය.ඒ බසයෙන් ගියත් විදර්ශිකා ඉන්නේ බසයේ ගමනාන්තයෙන් තවත් ඇතුලේ ලු.ඒ නිසා සුමේධ ගමනාන්තය තෙක් ඇයත් සමග ගොස් ඇයව තමන්ගේ පාපැදියෙන් නිවස අසලටම ඇරලවා ආපසු යනවාලු.පන්ති දවස් වල උදේට ඔහු  බසය අරඹන තැනට බයිසිකලය පැදගෙන ගොස් එය අසල නිවසක තබා විදර්ශිකා සමග එනවාලු.

පන්තියේ ළමයි විදර්ශිකාට සුමේධ අල්ලා විහිළු කළහ.

"අයියෝ සුමේධ මට බාලයි.එයා යාළු වෙලා ඉන්නෙ අපේ නංගිගෙ පන්‍තියෙ හිටිය නංගි කෙනෙක් එක්ක.හැබැයි ගිය ආත්මෙක මගේ තාත්තෙක් වෙන්න ඇති"විදර්ශිකා කෘතඥතා පූර්වක ව කියයි.

"අපේ පැත්තෙ මිනිස්සු හරි දුප්පත්, අසරණයි.රටේ ලෝකේ දේවල් ගැන දැනුවත් නෑ.කොච්චර දක්ෂ ළමයි හිටියත් ජොබ් එකකට යද්දි ඉංග්‍රීසි බෑ කියන බාධාව නිසා කැපෙනවා.සර්ගෙ හෑන්ඩ් බිලක් අහම්බෙන් හම්බ වෙලා අපි දෙන්නා කතා වුණා කොහොම හරි ඉගෙනගමු  කියල.එතකොට ගමේ ළමයිටත් ඒකෙන් පාර පෙන්නන්න පුළුවන්"

සුමේධ විටෙක හැඟීම්බර ව කියයි.ඒවා අතිශෝක්තිය කියා බැහැර කරන්න අපේ නොමේරූ මොළ වලට හිතුණත්

"ඇත්ත ඔය කතා.මමත් වැඩ කරල තියෙනවා උපන්නට පස්සෙ දෙතුන් පාරකට වඩා ටවුමකට ඇවිත් නැති අහිංසක මිනිස්සු ඉන්න පැති වල.හරි පව් ඒ ජීවිත" රැකියාවක නියුතු වැඩිහිටියෙක් කියයි.

                    විදර්ශිකාව මතක හිටින්නට තවත් හේතු දෙකක් ඇත.පාන්දර පින්න නිසා පරණ කපු ලේන්සුවකින් ස්කාෆ් එකක් ගැට ගසාගෙන එන ඇය අව්ව වැටෙනකල් ම මූණ රතු වෙවී නිහඬ ව කිඹුහුන් අරින නිසාත් හිතෙන හිතෙන විලාසිතා වලින් කෘත්‍රිම වූ පන්තියේ අනෙක් කෙල්ලන්ගේ කොණ්ඩ අතර   කැපී පෙනෙන ඇගේ නිරෝගී  ‍රැළි ගැසුණ දිගම දිග කොණ්ඩය නිසාත්ය.

                    මේ පන්තියේ එක අන්තයකි. අනෙක් අන්තය ද එහිම සිටියේය. රුක්ශාන්,ජයංගන,සේමල් පන්තියේ ධනපති පන්‍තියයි.ඔවුහු දෙමාපියන්ගේ සල්ලි වලින් කරන්න දෙයක් නැති කමට පන්ති ආවෝය.ඉගෙන ගන්නා දේකුත් නැත.ඒ සඳහා ඕනෑකමකුත් නැත.සමහරු කීවේ තාත්තාගේ බිස්නස් එකේ ලොකු පුටුවට ආ දා ට බිත්තියේ රාමු කර එල්ලා ගන්න සහතික ඕනෑ නිසා එවන් අයත් පන්ති එන බවය.

ඒ අය අතරින් රුක්ශාන් විදර්ශිකා ගැන උනන්දු වන බව අපේ ගැන්සියේ සිටි හරෝශී දිනක් කීවාය.

"පිස්සු ද බං.රුක්ශාන්ට මොළේ විකාර වෙලාද ඒ වගේ ගොඩේ කෙල්ලෙක්ට ට්‍රයි කරන්න."

"විදර්ශිකාට හරි යන්නෙ පීනස් වෙදෙක්......."

"ඌ නිකං විහිළුවට ඒකිව අවුස්සන්න මොනව හරි කියන්න ඇති."

හරෝශිට විරුද්ධව  සියලු දෙනා හේතු ඉදිරිපත් කළහ.

"කවුරු ට්‍රයි කළත් ඒකිට කිට්ටු වෙන්න බෑ සුමේධයා මැණිකක් රකිනා නා රජිඳෙකු සේ රකිනවනේ"

අවසානයේ සතික කීවේ නම් කවුරුත් පිළිගත් ඇත්තකි.

දිනක් උදේ පන්ති ඇවිත් සිටියෙ විදර්ශිකා පමණි.

"ආ කෝ අද ඉඳිකට්ට නැද්ද.නූල විතරයිනෙ"

"අම්මෝ කුඩයක් ගෙනාවෙත් නෑ.වහීවි අද.........කෝ ඉතුරු බාගෙ"

විහිළු කළ අයට ඇය කීවේ එක දෙයකි.

"පෙරේදා වත්තෙ ඉඳන් එද්දි සුමේධ මල්ලිගෙ බයිසිකලේ මෝටසයිකලේකින් හප්පගෙන ගිහින් "

සියලු දෙනාගේ සිනා අතුරුදහන් වුණේය.

"ගොඩක් අමාරුද?"

"කොහෙදිද හැප්පිලා තියෙන්නෙ?"

"කාගෙද මෝටබයික් එක?"

"පොලිසියට කිව්වද?"

"තාම ඉස්පිරිතාලෙ.ටිකට් කැපුවත් කාලයක්  සිංහල වෙදකම් කරන්න වෙයිලු.........හවස කරුවලේ නිසා හප්පපු කෙනා දැකල නෑ.පොලිසි ගියොත් අපිටම තවත් කරදර වැඩි වෙන එක විතරයි වෙන්නෙ" සියලු ප්‍රශ්න වලට ඇය දුකෙන් උත්තර දුන්නාය.

ඔවුන් දෙදෙනාම සතියේ දිනවල තේ වතු වල වැඩ කරමින් පවුලට කීයක් හෝ හම්බ කරන බව දැන සිටියෝ ඇත්තටම දුක් වූහ.

සුමේධ ඔත්පළ වීම විදර්ශිකාට තවත් පාඩු ඇති කළේය.අඳුර වැටුණ පසු ඇය කැඳවාගෙන යන්න කෙනෙක් නැති නිසා  අන්තිම බසයේ ගිය නොහැක. දැන් ඇය හවස විවේකය දුන් වහා පන්තියෙන් පිට වෙයි.

ඇගේ දින චරියාව මෙසේ වෙනස් වෙද්දී රුක්ෂාන්ගේත් කැපී පෙනෙන වෙනසක් පෙනුනේය.ඔහු කලින්ම  පන්තියට එයි. විවේකයේදීත් බොහෝ දුරට පන්තියේ  ඉඳියි.දවස් කීපයකින් තවත් නිරීක්ෂණයක් පෙනුනේය.

හවස විවේකයෙන් පසු ඔහු ද පන්තියේ නැත!!

සෙනසුරාදා විදර්ශිකා විවේකයේ දී පන්තියෙන් පිට වන්නට නැගිට්ටාය.

"විදූ!!!"හඬක් නැගුනේය. සියලු දෙනා හඬ ආ දෙස බැලූහ.

"අද මං තාත්තිගෙ එස්ටේට් එකට යන්නෙ ඔයාලගෙ ගෙවල් පාරෙන්. අපරාදෙ ක්ලාස් එක පාඩු කර ගන්නෙ. මාත් එක්ක හවස ම යමු."

ඉඳිකට්ටක් බිම වැටෙන තරමට පන්තිය නිහඬ විය.විදර්ශිකාගේ උත්තරය දෙස සියල්ලෝ බලා සිටිති. ඇය ද මොහොතක්  බලා සිටියාය.

"තාත්තාට බේත් ගන්න ඕන අද.ඒ නිසා මං කලින් යන්නම ඕන"ඇය ද එකඟ නොවී සිටිය නොහැකි උත්තරයක් දී එළියට ආවාය.

"ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න වගේ නේද?" සතික කොඳුරා කීවේය.

"සල්ලිකාර හැන්ඩ්සම් කොල්ලෙක්, දුප්පත් අහිංසක කෙල්ලෙක්.හරිම කොමන් ආදර කතාවක්"

"කී දවසක් ඔහොම හේතු කියන්නද?රුක්ශාන්ට ඕවා හොඳට පුරුදු සෙල්ලම්"

"ඕකගෙ පැණි බේරෙන කතා වලට අහු නොවුණ කෙල්ලක් නෑ ඉස්කෝලෙ යන කාලෙත්"

"විදර්ශිකා වුණත් කැමති නැතෑ සුමේධයා එක්ක පයින් බඩ ගාන්නෙ නැතුව රුං ගාලා බයික් එකක ඉගිල්ලෙන්න"

"රුං ගාලා කොහාට ඉගිලෙයි ද කියල තමා ප්‍රශ්නෙ"

"පව් අහිංසකී........කබලෙන් ලිපට වැටෙන්නයි යන්නෙ"

 අපි සියල්ලෝ ඇය ගැන දුක් වුනෙමු.

 ඉරිදා විදර්ශිකා උදෙන්ම ඇවිත් සිටියාය.වෙනදා තරම් වත් කතාබහක් නැත.රුක්ශාන් ද ඊට එහා ඩෙස් පේළියක ඇයව හොඳින් පෙනෙන සේ ඉඳ ගෙන බොහෝ ගෑණු ළමයින්ගේ සිත් වශී කළ මෝහනීය හිනාවෙන් බලා සිටියි.පන්තියෙන් බාගයක් පමණ සෙනග පිරෙන තුරු සිටි විදර්ශිකා නැගිට රුක්ශාන් වෙත ගියාය.

මෙතෙක් වෙන කතාවල සිටියෝ වැඩ නවතා ඇස් විදහා කන් සුසර කර ඒ දෙස බැලූහ.

"රුක්ශාන් ඔයා ඔය තරම් කැමති දේ මං ඔයාට  දුන්නොත් ආයෙ මට කරදර නොකර ඉන්නවද?"

රුක්ශාන් එක් වරම අපහසුතාවයට පත් වූවත් වහාම ජයග්‍රාහී හිනාවක් පෑවේය.

අපේ හිත් ටිං ටිං ගෑවේ විදර්ශිකා මොනවායින් මොනවා කරන්න යනවාදැයි සිතා ගත නොහැකිවය.

"ඒ කෙල්ලත් හරි වගේ" කවුදෝ කොඳුරනු ඇසුණේය.

"සුමේධ මල්ලියි මමයි සෑහෙන කැපකිරීම්  ගොඩක් කරල මේ පන්තියට එන්නෙ ඉංග්‍රීසි ඉගෙනගන්න. ඒ වෙනුවෙන් තවත් එක කැපකිරීමක්  කරන්න මට අමාරු නෑ. මෙන්න ඔයා ආස කරන දේ.ප්ලීස් අපි දෙන්නට මින් පස්සෙවත් පාඩුවෙ ඉන්න දෙන්න. "

ක්‍රමයෙන් උස් ව නැගුන කතාව අවසානයේ විදර්ශිකා පිටුපසට කරගෙන සිටි අතේ තිබූ කඩදාසි බෑගයක් ඔහු අතට දුන්නාය.රුක්ශාන් අන්දුන් කුන්දුන් ව බලා සිටියේය.මෙතෙක් වේලා හුස්ම ගන්නටවත් අමතක ව මේ ජවනිකාව දෙස බලා හුන් පිරිස අතරින් ගොස් විදර්ශිකා සුපුරුදු ආසනයේ ඉඳ ගත්තාය. හිස වසා සිටි ස්කාෆ් එක ගැලෙව්වාය.

මුළු පන්තියක්  අගය කළ ඇගේ දිග කේශ කලාපය කන ගාවට ම කපා දමා තිබුනේය.

 Shanika Tennakoon

 

Comments