නුඹ මගේ හීනයයි

 

අනූෂ අපහසුවෙන් රෝද පුටුව තල්ලු කරගෙන බැල්කනියට ආවේය.නිවස පිහිටියේ මහා මාර්ගය අයිනේ නිසා උදේටත් හවසටත් ඒ ඔස්සේ එහා මෙහා ඇදෙන මහා ජන, වාහන ගඟ දෙස බලා සිටීම දැන් ඔහුගේ දින චරියාවේ අංගයකි.

 තරුණයෙක් අතකින් කාර්‍යාල බෑගයත් අනෙක් අතින් එළවළු, හාල් දැමූ බෑගයකුත් එල්ලාගෙන පයින් යයි. අනූෂ අනතුරට මුහුණ පෑවේත් ඔය වගේම එද්දීය.ඔහුට සුසුමක් හෙළුනේය.

"ආයෙ ඔහොම ඇවිදින්න මට තව කොච්චර කල් යයිද?"ඔහු මෙතෙක් අතේ තිබුණ පොතේ පිටුවක් පෙරළා ඒ වෙත දෑස් යොමු කළේය.

අනූෂ බලා සිටි තරුණයා ආමන්ත ශර්ට් අතින් මුහුණේ දාඩිය පිස දමමින්  තවත් පියවරක් ඉදිරියට ඇදුනේය.

"ශිහ්.....බස් එකක් නැති හැටි.කොච්චර දුර යන්නද මේ ටිකත් උස්සන්......... වහින්නත් වගේ ඊට කලින් යාගන්නෙ කොහොමද?"බස් වල යන මිනිස්සු ගැන හූල්ලමින් ඔහු බස් අංක බලමින් දිගටම ගියේය.

වාහන පෝළිම තදබදයක හිර වී ඇත. බසයක ජනේලය ගාව ඉඳගෙන ඉන්නා ඇන්ජලීනා පාර දෙස බැලුවාය.බසය තුළ කිටි කිටියේ සෙනගය.ඇගේ උකුලේත් ඉදිරිපස නොපෙනෙන තරම් බෑග් ගොඩකි.

"ට්‍රැෆික් එක හෙල්ලෙන්නෙවත් නෑ.බස් එක පෝරණුවක් වගේ රස්නෙයි. ......... තව හෝල්ට් හතරක් තියෙනවා බහින්න. දැන්මම ඉස්සරහට යන්න වෙයි ද.මේ සෙනග එක්ක නැගිටගන්නවත් බෑනෙ. ........මටත් තිබුණා නම් අර වගේ බයිසිකලයක් . ........රුං ගාලා හුළං කපාගෙන යන්න තිබුණා.වියදමකුත් නෑ"ඇන්ජලීනාගේ ඇස් යොමු ව තිබුණේ පා පැදියක නැගී සිටි ඈශ්ලි වෙතය.

"තව කඳු දෙකක් පාගන්න එපැයි මේ පාර්සල් ටිකත් බෙදන්න.මුළු ඇඟම ඇදුම් කනවා.හවසට ශොට් එකක් දා ගත්තා නම් හරි.ඒත් මේ සතියෙත් පොඩි එකාගෙ පොත් ටික ගන්න සල්ලි මදි වෙයි. අදත් වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක් තම්බලා බොනවා. .....මේ පඩියෙන් නම් කවදාවත් මෝටසයිකලයක් ගන්න වෙන්නෙ නෑ." ඈශ්ලි තමන්ටම කියා ගනිමින් තමන් වටේ ඇති මෝටසයිකල් දෙස ලෝබකමෙන් බැලුවේය.

හෙල්මට් එකේ ගාංචුව එහා මෙහා කරමින් ඉශාන් වටපිට බැලුවේය.ඇඟ දිගේ දාඩිය බේරේ.හිස් කබල ගිනියම් වී ඇත.මුහුණේ, කටේ,කනේ සිට දූවිලි ය. මෝටසයිකලයේ හැඬල් මත තිබෙන අත් තමන්ගේදැයි හිතෙන තරමට අව්වට කළු වී ඇත.

"ලොකු වැස්සක් එන්න යන්නෙ.ඒකයි මේ තරම් රස්නෙ.අපරාදෙ මං ගෙදර ගෙනිහින් කරන්න ෆයිල් ටික ගත්තෙ. පොදයකටවත් තෙමුණොත් ලොක්කා මාව හම ගහයි. බඩු ගොඩකුත් මාකට් එකෙන් ගෙනියන්න තියෙනවා. කොහොම මේකෙ ගෙනියන්න ද මන්දා. ත්‍රීවීල් එකක් තියෙනවා නම් තෙමෙන්නෙත් නෑ.මෙහෙම දූවිලි කන්න ඕනත් නෑ. හවසට හයර් එකක්වත් කර ගන්න තිබුණා."

ඉශාන්ට එහා පැත්තේ නවතාගෙන සිටි ත්‍රීරෝද රථය ඊශ්වරන්ගේය.

"දවසටම හයර් දෙකයි සෙට් උනේ..... දවසෙ වියදම කවර් කර ගන්නවත් මදි. ලීසින් එක ගෙවන්නයි,තෙල් ගහන්නයි හයියෝ මං දන්නෙ නෑ...........අහස ගොරවන හැටියට වැස්සොත් නම් මේ වාහන ගොඩ අස්සෙ මගෙ ආටා කෑල්ල ගෙනියගන්න බෑ. පාරවල් ලිස්සන හැටියට පෙරළුනොත් සුම්මා........ඒ මදිවට වටෙන්ම තෙමෙනවා. කවදා මගෙ ම කියල පොඩි කාර් එකක්වත් ගන්නද?"

පරණ පහේ මෝටර් රථයේ වීදුරු ඇරගෙන ස්ටීරියන් වීල් එක අල්ලාගෙන පාරට රවාගෙන ඉන්නේ උස්මාන් ය.

"වටේම තියෙන හයි ක්ලාස් වන්ඩි එක්ක මේක පාක් කරන්නත් ලැජ්ජයි. චෙහ්..... ඒසීත් නෑ.ජනෙල් ඇරන් ඉඳලා ඇතුලෙ ඔක්කොම දූවිලි වැදෙනවා...... දුම ඒ මදිවට. තෙල් කනවා...........මහ ලදරමක්..........මොන සැප ද අර වී එයිට් එක"

කළු කළ වීදුරු තුළ ඒසී වාහනයේ පිටුපස ආසනයේ ඌඩිත් සිටින්නේ ලැප්ටොප් එක ද දිග හැරගෙනය.

"තාත්තෙ අදවත් කලින් එන්නකෝ" සති ගාණක සිට දුව කියන්නේ එකම දෙයකි. කටින් නොකීවාට එරන්දිත් එය ම බලාපොරොත්තු වන බව ඔහු දනී.ඒ ඉල්ලීම අදවත් ඉටු කරන්නට හැකි ඉක්මනින් ඔෆිස් එකෙන් ආවාට මේ ඊමේල් කන්දරාවේ හැටියට ගෙදරට ගියත් රෑ දොළහවත් පහුවන තුරු නොනවත්වා කළ යුතු හදිසි අත්‍යවශ්‍ය වැඩ ගොඩකි.

ඔහු මහා හුස්මක් ගෙන වාහනයෙන් ඉවත බැලුවේය.පාර අයිනේ නිවසක ඉහළ මාලයේ බැල්කනියට වී කෙනෙක් නිදහසේ පොතක් කියවමින් කෝපි කෝප්පයක් බොයි.

"මට කවදද එහෙම නිදහසක්??"

 

Shanika Tennakoon

https://i2.wp.com/www.learning-mind.com/wp-content/uploads/2017/05/How-to-make-your-dreams-come-true.jpg?resize=849%2C566&ssl=1

Comments