නැන්දම්මෙක්

 

            ලොකු මැණිකේ කාමරයට වැදුනේ සුළි සුළඟක් හමන ලෙසිනි.ඇගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා හැම සෛලයකින්ම කෝපය ඉතිරී ගියේය. ඇය ඒ වේගයෙන් ම කණ්නාඩි මේසය ඉදිරිපිට ඉඳ ගත්තාය. කණ්ණාඩියෙන් පේන මූණ රාක්ෂයෙක් වගේය.

"අපේ මෝඩයාට මං කොච්චර කිව්වද. සපුමලී බැන්දා නම් ඒ කෙල්ල දන්නවා වලව්වක හැසිරෙන හැටි.මේ සක්කරවට්ටම නිසා හෙට අනිද්දට මිනිස්සු ගලුත් ගහයි අපට"

            ඇය මේ බනින්නේ එකම පුතා යශේන් හා ලේලී නදීශාටය. ලොකු මැණිකේගේ බලාපොරොත්තුව වූයේ යශේන් වලව්වේ වතු පිටි බලාගෙන සැමියාගේ නංගීගේ දුව විවාහ කරගෙන ඉන්නවා දැකීමය.ඒ නෑ කමටත් වඩා නංගීට දායාද ලෙස දුන් ඉඩ කඩම් නැවත පවුලට ඈඳා ගැනීමටය.නමුත් ඉගෙනීමේ දක්ශ වූ යශේන්  වෛද්‍ය විද්‍යාලයට සමත් වූයේය.එයින් ම තම අනාගත සහකාරිය ද සොයා ගත්තේය. සාමාන්‍ය පවුලක උපන් නදීශාට ලොකු මැණිකේ එක හෙළා විරුද්ධ වූවත් වෙනස් වූයේ යශේන් නොවේ.පවුලෙන් අයින් කරනවා,වහ බොනවා වැනි කිසිම තර්ජනයක් යශේන් දූවිල්ලක් තරම්වත් මායිම් කළේ නැත. අවසානයේ ලොකු මැණිකේ පරාජය බාර ගත්තේ අනෙක් නෑයන් බොහෝ දෙනා ද යශේන්ගේ පැත්ත ගෙන වෛද්‍ය ලේලියකගේ අගය පැහැදිලි කළ නිසාත් වලව් පරම්පරාවක් නැතත් ඇය වත් පොහොසත්කම් ඇති ඉතා වැදගත් පවුලකට අයත් බවත් දැනගත් නිසාය. දෙදෙනා විවාහයෙන් පසු වලව්වේ පදිංචියට ආහ.යශේන්ගේ අම්මාගේ හැටි කලින් ම දැන සිටි නිසා නදීශා ඉතා පරිස්සමෙන් නිවසේ කල් ගෙව්වාය.

 "දොස්තර නෝනා ඉන්නවද ලොකු අප්පෝ" ලෙසින් වට පිට සියළු දෙනා ඇය හොයා එනවිට ලොකු මැණිකේට ද සියුම් අභිමානයක් දැනුනත් ඇය එය නදීශාට පෙන්නුවේ නැත. නදීශා තනිව රිය පදවාගෙන යාමත් සමහර දින වලට ගවුම්,සාය හැට්ට ඇඳ වැඩට යාමත් වැනි කාරණා ලොකු මැණිකේගේ මතයේ හැටියට ඔවුන්ගේ වලව් පරම්පරාවට නොගැලපුණත් දොස්තර නෝනාගේ අත් ගුණය නිසා වෙනදාටත් වඩා පවුලට ලැබී ඇති ගරු සත්කාර සිහි කර ඇය ඒවා නොදුටුවන්ව සිටියාය.

             ඇගේ යකා ඔලුවට වැදුනේ දැන් මොහොතකට පෙර ය. අද නදීශාගේ කාර්‍ය මණ්ඩලයේ ලොකු දොස්තර මහතෙක්ගේ සාදයකි. රෑ සාදයක් නිසා යශේන්ව ද කැටුව යන බව නදීශා මුලින් ම ඇයට කීවාය. ඇයද එය එකහෙළා පිළි ගත්තාය. තමන්ගේ ප්‍රධානියාගේ උත්සවයකට සැමියාත් කැටුව යන නිසා නදීශා උඩරට ඔසරියකින් හැඩ වනු නියතය. ඔය කොළඹ පළාතේ අයට ඔසරියකට ගැළපෙන ආභරණ නැත.තිබුණත් ඒ බාල චාම් අරුමෝසම්ය. වලව්වේ අභිමානය පෙන්වන්නට මේ හොඳම අවස්ථාවකි.ලොකු මැණිකේ පරම්පරාවෙන් පැවතෙන වටිනා කර මාලයක් රැගෙන ඔවුන්ගේ කාමරය පැත්තට ගියාය. එහෙත් දුටු දෙයින් ඇය ත්‍රස්ත වූවාය. ලේලි ඇඳ සිටියේ අත් කැපූ ඇඟේ හැඩ බේරුණ ගවුමකි!!! ලොකු මැණිකේට ආ කේන්තියේ තරමට මොනවා කීවාදැයි මතක නැත.නමුත් නොකී දෙයක් නම් නැති බව විශ්වාසය. යකා වැහී කඩා බිඳගෙන මේ ඇවිත් ඉන්නේ ද එයින් පසුය. ඇය තාමත් අතේ ගුලි වූ මාලය දෙස බැලුවාය.

 "විලිසංගයක් නැති මේ වගේ නැට්ටිච්චියන්ට මේව දෙනවට වඩා හොඳයි හොරෙක් හතුරෙක් අරන් ගියාවේ"

            ඇය වේගයෙන් නැගිට්ටාය.නැවත ආභරණ මංජුසාවටම දැම්මොත් දකින සැරයක් ගානේ කේන්තිය අලුත් වේ. අල්මාරියේ නිතර නාරින රහස් ලාච්චුවක් අමාරුවෙන් ඇරියාය.මාලය දැමීමට අත නිදහස් කරනවාත් සමග එතුල තිබූ දෙය දැක ලොකු මැණිකේ  ගල් ගැසුණාය. එහි වූයේ ඇය කාලයක් මහත් සේ ආදරය කළ ඉතා අලංකාර එල්ලෙන කරාබු ජෝඩුවකි. ශීලා ලොකු මැණිකේගේ හොඳම යෙහෙළිය වූයේ පුංචිම කාලයේ සිටය. ඇය විවාහ වෙද්දී ශීලා සිටියේ සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගොස්ය.මංගල උත්සවයට සහභාගි වීමට නොහැකි වූ නිසා ශීලා පසුව ඇගේ නිවසින් මංගල තෑග්ගක් තබා ගොස් තිබුණි.දුටු සැණින් ලොකු මැණිකේ  එයට මහත් සේ කැමති වූවාය. ඉතා ආශාවෙන් ශීලාගේ මංගල තෑග්ග වලව්වට ගෙන ආ ඇය ඊළඟට එළඹුණ නෑදෑ ගමනකට අනෙක් ආභරණත්  සමග කරාබු ජෝඩුව පැළඳ ගත්තාය. ඇය සාලය හරහා යන්නට කාමරයෙන් එළියට ආවා පමණි.

 "මොකක්ද ඔය කනේ එල්ලගෙන ඉන්න උඩැක්කිය?"

            නැන්දම්මාගේ කවදාවත් නොවූ ගෝරනාඩුවෙන් ඇය ගල් ගැසී නැවතුනාය. ඒ වචන වලට විරුද්ධව බැල්මක් වත් හෙළන්නට අසමත් වූ ඇය බිම බලාගෙන කාමරයට ගියාය.කරාබු ජෝඩුව ගලවා ලාච්චුවේ දැමුවාය. රිදුණු හිත හැදෙනතුරු ඇය ඇඬුවේ කාටවත් නොපෙනී නොඇසීය. ලොකු මැණිකේ දීග ගියේ පරම්පරා හතකටත් එහා උභය කුල පාරිශුද්ධ ව රූමත්,චරිතවත්,ඇතෙක් බරට දායාද සහිත, පොරොන්දම් සියල්ල ගැලපුණ මනාලියක් ලෙස නිසාත් නැන්දම්මාගේ අණට හුස්මකින්වත්  විරුද්ධ නොවූ නිසාත් ඒ වෙද්දී කිසිදා නැන්දම්මා ලේලී ගැටුම් ඇති ව තිබුණේ නැත. කරාබු ජෝඩුව අමතක කර දැමුවාට නැන්දම්මා  කියූ එකම එක දෙයින් ලොකු මැණිකේගේ හිතේ ඇති වූ කැළල කිසි දා මැකුණේ නැත.ඉන්පසු නැන්දම්මා කොතරම් හොඳ දේ කළත් ඒ සියල්ලට ඉහලින් ඒ වචන ලොකු මැණිකේට නිරන්තරයෙන් සිහි විය. නැන්දම්මා ගැන ඇයට ඇති වූ තරහ සහ පිළිකුළ කාටවත් නොපෙන්නුවාට ඇය මිය යන තුරුත් එසේම විය.අදටත් ඇය සිහි කර පවත්වන වාර්ෂික දාන පිංකම ලොකු මැණිකේ සිදු කරන්නෙ සිරිතක් ලෙස පමණි.වෙනත් පිංකමක දී පින් අනුමෝදන් කරද්දී මළ ගිය ඤාතීන් සිහි කරද්දී පොඩි කාලේ වත්තේ වැඩ කළ අය පවා සිහි වුණත් නැන්දම්මා සිහියට නොනැගේ.

"එතකොට මමත් ඒ වගේ යක්ශ නැන්දම්මෙක් ද?මගේ ලේලිත් මට හැමදාම වෛර කරයි ද?"

            ලොකු මැණිකේ අල්මාරියෙන් ඈතට වුණාය.සෙමින් සෙමින් සාලයට ගියාය. නදීශා දොරට පිටු පා ඇඳ උඩ නිශ්චල ව ඉඳගෙන සිටී.ඇය චකිතයෙන් මෙන් කාමරයට ඇතුල් වුණාය.

 "ඔය ගවුමට මේ කරාබු ජෝඩුව ගැලපෙයි නේද?" නදීශා තිගැස්සී හැරී බැලුවාය.රතු වී තිබූ ඇගේ ඇස් වල මුලින් බියත් ඉන්පසු පුදුමයත් සටහන් වී ඒ බැල්ම ලොකු මැණිකේගේ ඉදිරියට දිගු කළ අත වෙත රැඳුනේය.

"ආනේ.........හරි ම ලස්සනයි.මෙච්චර ලස්සන කරාබු දෙකක් මම කවදාවත් දැකල නෑ" නදීශාගේ මුහුණේ පිපුණු කාන්තිය ලොකු මැණිකේටත් බෝ විය.ඇය කරාබු ජෝඩුව ඇඳ උඩින් තැබුවාය.

"මේකත් තියා ගන්න ඔසරියක් අඳින දවසක දාන්න" ඇය අනෙක් අතේ තිබූ කර මාලය ද අසල මේසය උඩින් තබා තම සතුටු මුහුණ නොපෙනෙන සේ ආපසු හැරුණාය.

Shanika Tennakoon

 

Comments

Post a Comment