ඇත්ත ඇති සැටියෙන්


                    සසිරිගම හා නගරය යා කළ හොඳම මාර්ගය  සිරිමෙවන් මුදලාලිගේ බසයයි. නගරයට ඒමට හරි හමන් ප්‍රවාහන මාධ්‍යයක් නැති ගම් වැසියන්ට එය  මහා සම්පතකි.එහි යන එන්නෝ  ගමේ හැම අලුත් තොරතුරක් ම කතා බහ වන නිසා ගමෙන් පිට අය වූ රියදුරු ගුණපාලත් කොන්දොස්තර සිරිසේනත් ගමේ සිදුවන සියලු දේ හොඳින් දැන සිටියහ.ගමේ බස් එක ගෙදරම වාහනය සේ සලකා හිතූ හිතූ තැනින් ගොඩ වන්නත් බහින්නත් මගීන් පුරුදු වී ඇති නිසා වේගයෙන් නමුත් ගුණපාල ඉතා පරිස්සමෙන් ‍රිය පදවයි.

           දිනක් ඔහුටත් එක්වර බ්‍රේක් ගහන්න සිදු විය.හදිසි බ්‍රේක් පාරෙන් බසයේ කීප දෙනෙක් ම එකා පිට වැටුනහ.

"අම්මෝ පාලයියෙ,කවුද ඒ රාංකුරුල්ලා" බ්‍රේක් පහර නිසා බසයේ පිටුපස සිට ඉදිරියටම ලිස්සා ආ කොන්දොස්තර ඇසුවේය.

ඔහු බ්‍රේක් පාගා තිබුණේ ඉදිරියෙන් අධි වේගයෙන් ආ මෝටර් සයිකලයකටය.

"අර කළුවගෙ කොල්ලා ජයතිස්සයානෙ. ළඟදි  රට ඉඳං ආවෙ.තාම ඌට රට ඌස්නෙ"බසයේ සිටියෙක් කීවේය.

"අපෝ මාවත් ඊයෙ කාණුවට විසික් වුණා.ඌ තමා මේ රටේ බයිසිකලයක් පදින පළවෙනියා"

ඉරිසියාවත් ගැබ් වූ තවත් හඬකින් කියවුණේය.

එදා මුහුණට හමු වුවත් ඉන්පසු ඒ බයිසිකලය හැමදා බසයට ඉදිරියෙන් රේස් ගියේ පිටුපස තවත් කෙනෙක් නග්ගවාගෙනය.

"ජයතිස්ස බයිසිකලේ ගත්ත එකෙනුත් පාඩුව අපේ මුදලාලිටමයි."ජනේලයෙන් ඒ දෙස බලා සිටියෙක් ටිකට් කැඩීමට ළඟට ආ සිරිසේනට කීවාය.

"අර මොකෝ?"

"ඇයි ඔය පිටිපස්සෙ ඉන්දන් යන්නෙ මේ බස් එකෙන් වැඩට ආ ගිය සිරියාගෙ කෙල්ල සාරදා නෙව.රට යන්නත් කලින් ඉඳන් තිබ්බ ඇයි හොඳයියනේ.ළඟදි මගුලත් ගන්නවා කියන්නෙ"ඇය තමා හොයා ගත් අලුත් ආරංචිය සෙනගටත් ඇහෙන්නට කීවාය.

ඉන් පසු එළඹි දින කීපයම ධාරාණිපාත වර්ෂාවෙන් වැසුණේය.

"මල්ලියෙ පරිස්සමෙන් යං.අනෝරා වැස්සට ඊයෙ රෑ මාර ගහේ වංගුව ගාවින් පාර කඩාගෙන ගිහින්."කෙනෙක් බසයට නැග්ගේ ම එසේ කියාගෙනය.

සිරිසේන ඔළුව එළියට දා බැලුවේය. පාරෙන් බාගයක් ම කඩා බිඳ වැටී ඇත්තේ මහා පාතාළයක් නිර්මාණය කරමිනි.

"මෙතන හරි අනතුරුදායකයිනේ. ඉක්මනින් මොනව හරි කරන්න වෙයි" ඔහු අසල සිටියෙක්ට කීවේය.

"වැඩක් නෑ කතා කරල........හැමදාම මේ කාළකණ්නියෝ චන්දෙ ගන්න මිනිස්සුන්ව රවට්ටනවා විතරයි"

"කොයි පක්ශෙත් එච්චර තමා" තවෙකෙක් මගියාට එකඟ වූයේය.

"රතු කොඩියක්වත් දැම්මා නම් හරි ඔතන"

"ඔව් ඒක තමා "

                    දවස් කීපයක් ගත වුවත් පාරේ කැඩුණ තැන එහෙමමය.එතැනින් බසය යන ගානේ සසිරිගමින් චන්ද ලබා බල තල ඇති තැන් වලට ගිය අයගේ දෙමාපියන්ට නොනවත්වා කිඹුහුන් යයි. තවමත් ටිකෙන් ටික වැහි වැටෙන නිසා පාර තවත් කැඩීගෙන යයි.

"මේකෙන්  රතු  ඉටි කොළ කෑල්ලක් අරන් වරෙන්කො"නගරයේ බසය නැවැත්වූ විටෙක ගුණපාල සිරිසේනට මුදල් නෝට්ටුවක් දිගු කළේය.

"අර මොකටද?"

"පාරෙ වංගුව ගාවට කොඩියක් හදල දාන්න"

"අපි මොකටද කරන්නෙ ඒ ගමේ මිනිස්සු කරන්න ඕන වැඩ"සිරිසේන නොමනාපයෙන් ඇසුවේය.

"ඕං ඕක තමා  වෙලා තියෙන්නෙ. වැඩේ කරන හැටි කියන්න ඕන තරම් අය. අතක් පයක් හොලවලා වැඩක් කරන්න  කෙනෙක් නෑ ."

"අයියා පරිස්සමෙන් නෙ බස් එක ගෙනියන්නෙ.අපි ම මොකටද වියදම් කරන්නෙ ඕකටත්"සිරිසේන නැවත ඇසුවේය.

"මං පරිස්සමෙන් ගියාට හැම එකාම එහෙමයැ.පණ්ඩිතකම නැතුව ඕක අරන් වරෙන්.ඔය රුපියල් සීය දෙසීය වගේ නෙවේ එකෙක් වැටිලා අතක් පයක් කැඩුනොත්"

                    එහෙත් ඔවුන්ට රතු කොඩි දැමීමට ඉඩක් නොවීය.ගොම්මනේ පොද වැස්සේ විදුලි වේගයෙන් ගිය රාං කුරුල්ලා මහා පාතාලයේ පතුළ දැක තිබුනේ එහි සිටි තරුණයන් දෙදෙනාට එතැනම දිවි අහිමි කරමිනි.ගම දෙකොනේ මළ ගෙවල් දෙකකි.එදා ජයතිස්සගේ පිටිපසින් නැගී ගොස් තිබුණේ ඔහුගේ දෙවන මනමාලයා වන්නට සිටි කරුණාසිරි ය.

                    ජයතිස්සගේ මළ ගෙදර කැපී පෙනෙන ම කාරණය වූයේ ඔහුගේ මනාලිය වන්නට සිටි සාරදාගේ වැළපිල්ලය.ගස් ගල් මෙන් සිටි සමහර පිරිමි දෙනෙත් පවා තෙත් කරමින් ඇය පොළවේ හැපුණාය.කීප වරක් සිහිසුන් ව ද වැටුණාය.සතියක් පමණ යනතෙක් බසයේ මගීන්ගේ කතාව ද සිදුවූ මහා ඛේදවාචකය ගැන ය.නමුත් පාර නම් එසේමය.

                    දිනෙක එතැන පසු කරද්දී බසය තුළින් මහා විළාපයක් නැගුනේය.ගුණපාල ගැස්සී කණ්ණාඩියෙන් පිටුපස බැලුවේය.සුදු ඇඳගත් තරුණියක් ජනේලයෙන් එබීගෙන හඬා වැටෙයි. වටේ පිටේ සිටින සියළු කාන්තාවෝ ඇය සනසන්නට පොදි කන නිසා කවුදැයි නොපෙනේ.

"ඔතන පෙනෙද්දි අපි කාටත් දුකයි දුවේ. ඔහොම වැඩට ගියෑකෑ.ඩයිවර් මල්ලි ඔහොම නැවැත්තුවා නම්."කාන්තාවක් කීවාය.

ගුණපාල බසය නැවත්තුවේය.

"මං මේ කෙල්ල ගෙදරට ගිහින් බස්සලා එන්නං.අක්කෙ උඹ මටත් එක්ක ක්ලිනික් පෝළිමේ තැනක් අල්ල ගනිං." ඇය තාමත් හඬා වැටෙන සාරදා වත්තම් කරගෙන බසයෙන් බැස්සාය.

"දුක නැතුවයෑ ඉතිං.මගුලට ඔක්කෝම ලෑස්ති කරල ඉන්දැද්දි හොරු ගෙනිච්චා වගේනේ."

"පව් අහිංසකී.ජයතිස්ස මැරුණ දා ඉඳන් සුදු විතරයි අඳින්නෙ.කන කර මුකුත් නෑ.දස සිල් ආරාමෙකට යන්නලු ඉන්නෙ"

"සාරදා එහෙම උනාට බලපංකො කරුණාසිරිගෙ කෙල්ල"ඒ අස්සේ තවත් කවුදෝ කීවේය.

"කා එක්කද කරුණාසිරි යාළු වෙලා හිටියෙ?"

"අර ටවුමෙ ෆොටෝ සාප්පුවේ මංගලා එක්කනෙ.මළ ගේ දවසෙත් හෝන්දු මාන්දු වෙලා පැත්තක් අල්ලන් හිටියට එක කඳුළු පොදක් බිම හැලුවෙ නෑ."

"අනේද කියන්නෙ.ඊයෙ මේ බස් එකේ ම ආයිත්තම් වෙලා වැඩටත් ගියා මං දැක්කා"

"අනේ මෙහෙමත් ගෑණු"

තවත් සතියක් ගත වෙද්දී පාරේ කැඩුණු තැන කීප දෙනෙක් වැඩ කරනු පෙනුනේය.

"අහ් මන්ත්‍රීතුමා වැඩ පටන් අරන් නේද. මං කිව්වෙ එතුමාට මේ වැඩේ අමතක වෙන්නෙ නෑ.අපි කිව්වට සල්ලි පාස් වෙන්නත් එපැයි" කෙනෙක් උජාරුවෙන් කීවේය.

එතැන පහු වෙද්දී දෙන්නෙක් බසයට අත දැම්මෝය.මංගලා සහ තවත් වැඩිහිටි පිරිමියෙකි.

"කොහෙද ළමයො මේ උදේම.අද වැඩට ගියේ නැතෙයි?"

"නිවාඩුවක් දැම්මා නැන්දෙ.පාරෙ  වැඩේට බාසුන්නැහැ එක්ක තව අඩු පාඩු වගයක් බලන්න යන්න කියල"

"ඔය ළමයටත්  මන්ත්‍රීතුමාගෙන් ජොබ් එකක් හම්බ වුණාද?පාර හදන එක ඔය ළමයද වැඩ බලන්නෙ"

අර උජාරු කට හඬම ඇසුවේය.

"මන්ත්‍රීතුමා කරන කෙහෙල්මලක් නෑ. පාර හදන්නෙ මේ දරුවගෙ පුද්ගලික සල්ලි වලින්"

මෙතෙක් නිහඬව සිටි මංගලා සමග ආ දාවිත් බාසුන්නැහැ උපහාසයෙන් කීවේය.සෙනග බොහොමයක් පුදුමයෙන් ඇය දෙස බැලූහ.

"ගේ හදන්න ඉල්ලපු ණය පාස් වෙලා තිබ්බා.දැන් ඉතිං මට මොන ගෙවල් ද?" මංගලා බිම බලාගෙන කණගාටුවෙන් කීවාය.

"තව ඉස්සරහටවත් කෙනෙක්ගෙ  ජීවිතයක් නැති වෙන එක වළක්වගන්න පුළුවන් නම් ඒකත් මට සැනසීමක්"

ඇසේ කඳුළු නැතිවාට ඒ හඬේ ශෝකය උපරිමෙන් තිබුණි.

"ලබන ඉරිදා වැඩක් හෙම දාගන්න එපා"

එදා බසය මුදලාලිගේ නිවසට බාර දෙද්දී මුදලාලි කීවේය.

"ඇයි මුදලාලි කොහෙ හරි යන්න තියෙනවා ද?

"සිරියගෙ කෙල්ල ගාමන්ට් එකේ ලොකු මහත්තේක්ට සැට් වෙලා.අනුරාධපුරේට දීග දෙනවලු.ගමටම මගුල් කියලා.අපේ බස් එකේ තමා යන්න ඉන්නෙ."මුදලාලි වෙනුවට හාමිනේ උත්තර බැන්දාය.

ගුණපාල හා සිරිසේන නිහඬව පාරට ආහ.

"සිරියගෙ දුව කියන්නෙ අර මැරුණ ජයතිස්ස බඳින්න හිටි කෙල්ල නේද අයියෙ?" සිරිසේන බොහෝ වේලාවකට පසු ඇසුවේය.

"හ්ම්ම්"

"ඒ කොල්ලා මැරිලා තාම තුන් මාසේ දානේවත් දුන්නෙ නෑ නේද"

"හ්ම්........."

"හ්ම්ම්ම්........අනේ මෙහෙමත් ගෑණු " සිරිසේන තමන්ටම මෙන් කියා ගත්තේය.

 

Shanika Tennakoon

 

Comments