විනිශ්චය



(සම්පූර්ණ මනංකල්පිතයකි.)

                    සුපුරුදු සන්සුන්  ගමනින් මාධ්‍ය ආයතනයේ වාහන අංගනයට ආ ප්‍රවීණ කලාකරු ගාන්ධර්ව සමරසිංහ තම වාහනයට නැගුනේය.ඔහු පිටුපසින් ආ යාවජීව සහායක ජනිත් ද හැකි තරම් සාමාන්‍ය බවක් පෙන්වන්න තැත් කරමින් ඊට ම නැග්ගේය.සිද්දිය දැන සිටියත් රියදුරා ද නිහඬව රිය පාරට ගත්තේය.

ගාන්ධර්ව පොදු භාවිතයට දී ඇති දුරකථනය නාද වූයේය.

"සර්.......යූ ටියුබර් කෙනෙක්"

"ගන්න ඕන නැහැ"

                    ජනිත් සුසුමක් හෙළුවේය.මේ ආරම්භය පමණි.හෙට වන විට තම ස්වාමියා වසර විසි ගණනකින් උපයා ගත් කීර්ති නාමය සහමුලින් ම සමාජ මාධ්‍ය මගින් විනාස කරනු ඇත.හැමදා ඔහුට මහත් ගෞරවයෙන් සැලකූ  මේ මාධ්‍ය ආයතනයේ දොර ඔහුට සම්පූර්ණයෙන් වැසී යයි.එක්කෝ ඔවුන් මේ සිද්ධිය කුමන හෝ මාකටින් පැත්තකට හරවා වාසි ගනු ඇත.අනෙක් මාධ්‍ය ආයතන ද ඔහු ව තමන්ගේ දේකට සම්බන්ධ කර ගන්න පෙර සිය වතාවක් සිතා බලනු ඇත.ගාන්ධර්ව වත් නොදන්නා ඔහුගේ හත් මුතු පරම්පරාව ගෑවුණ තැන් වල වැරදි පවා එළියට එනු ඇත. මේ වෙද්දී ලංකාවෙන් බාගයකම රසිකයෝ ඔහුට වෛර කරන්නට පටන් අරන්ය. මින් ඉදිරියට ඔහුගේ වැඩසටහනකට මිනිසුන් ගල් ගැහුවත් හූ කිව්වත් දරා ගන්නට සිදු වේවි.මේ සියල්ල සිදු වුණේ මීට පැය බාගයකට පෙර ඔහු ම කියූ දේකිනි.දුරකථනය නොනවත්වා විවිද අයගේ ඇමතුම් වලින් නද දෙද්දී ජනිත් දෑස් පියාගෙන ඒ සිදුවීම සිහිපත් කළේය.

                    ඒ මාධ්‍ය ආයතනය කලක පටන් ආධුනික ගායක ගායිකාවන් උදෙසා ගායන තරු තෝරන ඉතා දැවැන්ත  වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.අදහා ගත නොහැකි තරම් දක්ෂයෝ කරළියට එති.දේශීය විදේශීය ලෙස ද වැඩසටහන ඉතා ජනප්‍රියයි.මෙවර වැඩසටහනේ මේ යන්නේ අවසන් අදියර කීපයයි.විනිසුරු මඩුල්ලෙන් තෝරා ගත් දක්ෂතම තරඟකරුවන් පිරිසක් අවසන් වටය නියෝජනය කරති.මෙතැන් සිට ඔවුන් ඉදිරියට යන්නේ එය නරඹන ප්‍රේක්ෂකයන් ලබා දෙන මනාප චන්ද මගිනි.මේ පියවර වලදී  සුපතළ කලාකරුවෙක් බැගින් ගෙන්වන අතර ඔහු හෝ ඇය තරඟකරුවන්ට ලබා දෙන විචාරය තරඟයේ  ඔවුන් ලබන චන්ද වලට බලපෑම් කරන බව පෙර අත්දැකීම් වලින් සාක්ෂාත් වූවකි.

                    ගාන්ධර්ව සමරසිංහ ආරාධනා ලැබුයේ එහි එක් වටයක ප්‍රධාන අමුත්තා වශයෙනි.මෙවර ගායක තරුව වන්නේ දක්ෂ ජනප්‍රිය තරඟකරුවෙක් වූ තාළුජ පණ්ඩිතරත්න බවට බොහෝ දෙනෙක් සපථ කර තිබුණේය.වටයෙන් වටයට වෙනස් වෙවී දුන් සියලු අභියෝගාත්මක ගීත මේ දක්වා ඔහු ඉතා සාර්ථක ලෙස ගායනා කර තිබුණේය.ඔහුට චන්ද මගින් තරඟයක් තිබුණේ තවත් දෙදෙනෙකුගෙන් පමණි.

                    එදා තරඟ වටයේදීත් ඔහු ඉතා දක්ෂ ලෙස තමන්ට දුන් ගීතය ඉදිරිපත් කළේය.ගාන්ධර්ව මහතාගෙන් ලැබෙන ප්‍රශංසාවත් සමග ඔහුගේ චන්ද මට්ටම ඉහළටම නගින බව කිව යුතු නැත.

සියලු තරඟකරුවන්ගේ ගායනා වලින් පසු එක් එක්කෙනා ගැන විචාර ඉදිරිපත් කරන අවස්ථාවේ නිවේදකයා ම ඔහු ගැන කරන ලද සුවිශේෂ වර්ණනාවකට  පසු ගාන්ධර්ව වෙත හැරුණේ ඔහුගේ ප්‍රශංසාව අහ ගැනීමටය.එහෙත් ගාන්ධර්ව කීවේ එක වාක්‍යයකි.

"ඔයා මේ තරඟයෙන් තරුවක් වෙන්න අවශ්‍ය කෙනෙක් නෙවේ!!!"

                    සියල්ල බෝම්බයක් පිපිරී ඇති වූ රික්තකයක් මෙන් ක්ෂණික තද නිහැඬියාවක ගිලුණේය. ගායකයා, නිවේදකයා පමණක් නොව විනිශ්චය මණ්ඩලය කැමරාකරුවන් ඇතුළු පසුතලයේ සියලු දෙනා පීරිසි තරම් ලොකු කරගත් ඇස් වලින් ගාන්ධර්ව  දෙස බලා සිටී. සජීවී වැඩසටහනක් නොවූවා නම් එය ඉවත් කිරීමට  හෝ තිබුණි. එහෙත් දැන් මේ වචන ජාත්‍යන්තරය දක්වා ම ගොස් අවසන්ය.

                    ජනිත්ට සුසුමක් හෙළුනේය.සියල්ලෝ ඔහු දෙස බලන්නේ අලුත් කෙනෙක්ගේ දියුණුව නොඉවසන ඔවුන්ට  වළ කපන කුහකයෙක් ලෙසය. ගාන්ධර්ව නිහඬව ආධුනිකයන්ට ඉදිරියට ඒමට අත දෙන තරම තමා වත් දන්නේ සුළු ප්‍රමාණයකි. මේ තරුණයා ගැන ද ඔහුගේ ඉහළ ප්‍රසාදයක් තිබුණේය. හැමදා ඔහුට මනාප පළ කළ රසිකයන් නම් මෙවරත් චන්දය  දෙනු ඇති මුත් එදා එදා ලැබෙන විචාර අනුව මනාප ලබා දෙන්නෝ කුමක් කරාවිද?අනෙක් අය කෙසේ මෙයින් වාසි ලබාවිද?

නමුත් මේ එය අහන්න අවස්ථාවක් නොවේ.මේ සිදුවීමෙන් හෙට වන විට තාළුජ පමණක් නොව ගාන්ධර්ව පවා කරලියෙන් ප්‍රතික්ෂේප වූ තරුවක් විය හැක.

                    ඒ ප්‍රකාශයේ බරපතළකම පහුවදා එලි වෙද්දී පැහැදිලිව පෙනුනේය.තාළුජ  මනාප පොරයෙන් පැරදිලාය. ගාන්ධර්වගේ නම,කීර්තිය,චරිතය සම්පූර්ණයෙන් විනාශ වන පෝස්ට් හැම තැනය.ඒවාට දමා ඇති කමෙන්ට් වල ඇති සාප සියල්ල ගෙවන්න ගාන්ධර්වට ආත්ම දහ පහළොවක් මදි වනු ඇත. ඊයේ සිට උත්තර නොදෙන  දුරකථනය නාද නොවන මොහොතක් නැත.ඒ තරම්වත් ඉවසීමක් නැතිව අනවසරයෙන් නිවස වෙත ආ විවිධ පිරිස් ගේට්ටුවෙන් හරවා යවා තිබුණි. වෙනදා නොවිකිණෙන පත්තර පවා ගාන්ධර්වට එරෙහි පුවත් මවමින් ඔවුන්ගේ අලෙවිය වහා ඉහළ නංවා ගත්තේය.

එහෙත් ගාන්ධර්වට ඒ කිසිවක් ගාණක් නැත.ජනිත් පරිස්සමෙන් ඔහුගේ මුහුණ අධ්‍යයනය කළේය.එහි තරහක් සතුටක් පළි ගැනීමේ සේයාවක් වත් නැත.

තාළුජගේ අම්මා අඬවමින් යූ ටියුබ් නාලිකාවක පළ කර තිබූ වීඩියෝවක් හා එයට දමා තිබූ කමෙන්ට් වල දරුණුකම නිසා තව දුරටත් ජනිත්ට කට පියාගෙන සිටිය නොහැකි විය.

"සර්........තාළුජ ඊයෙ හරියට සින්ග් කළේ නැද්ද?"

ගාන්ධර්ව පළමු වතාවට ඒ ගැන හඬ අවදි කළේය.

"ඒ ළමයා හැමදාම හොඳට සින්දු කිව්වා"

 ජනිත් පැටලිලි සහගත ව ඔහු දෙස බැලුවේය.

"පහුගිය අවුරුදු දහයක් විතර කාලෙ එක එක චැනල් වලින් ඔහොම ස්ටාර් ප්‍රෝග්‍රෑම් කීයක් විතර තියෙන්න ඇති ද ජනිත්?"

ගාන්ධර්ව ඇසුවේ ජනිත් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකි.

"අපෝ සර් විස්සක් වත් තියෙන්න ඇති."

"ඒවා වලින් දිනපු අය,දෙවෙනි,තුන්වෙනි තැන් ගත්ත අය මතකද?"

"හොයා ගන්න නම් පුළුවන් සර්"

"එයාලගෙන් මේ වෙද්දි ඒ ජනප්‍රියකමත් එක්ක තාම ගායකයො විදියට ඉන්න අය කවුද?"

                    ජනිත් කල්පනා කළේය.දෙතුන් දෙනෙක්ට වඩා මතක් නොවේ. ඔවුන්ටත් මුලින් තිබූ තරම් ජනප්‍රියකමක් නැත.කීප දෙනෙක් නළු නිළියන් බවට පත් වූහ.තවත් සමහරු නිරූපණ ක්ෂේත්‍රයට,නිවේදක ක්ෂේත්‍රයට,වෙළඳ දැන්වීම් වලට යොමු වූහ.තරුණියන් කීප දෙනෙක් නම් ගී ගයා රඟපා නිරූපණ ද අවසන් කර විවාහ වී සම්පූර්ණයෙන් නිහඬ වූහ. තවත් අයට වුණ දෙයක් වත් නැත.

"හුඟක් තරඟ වලදි දිනන්නෙ සැබෑ දක්ෂයාද?එයාලගෙ තීම් එකට ගැලපෙන්න මාකට් කරන්න පුළුවන් කෙනාද?.......හුඟක් ළමයින්ගෙ සැබෑ දක්ෂතා පේන්නෙ මුල් තරඟ වට වලදි. පස්සෙ පස්සෙ ඉන්නෙ චැනල් එකේ ස්ක්‍රිප්ට් එකට ගැලපෙන්න හැඩ ගැහුණ අය......දිනුවට පස්සෙ චැනල් එකෙන් දෙන එළියෙන් සක්වලටම මා පමණයි වගේ බබළනවා.ඒ එළිය නැති වුණ ගමන් කළුවරයි........"

ජනිත් ගැඹුරින් කල්පනා කළේය.මේ තරම් දුරක් ඔහුට කවදාවත් පෙනුනේ නැත.

බලනකොට චැනල් වලින් හැදෙන්නෙ තරු නෙවේ වල්ග තරු.ඔහු තමාටම කියා ගත්තේය.

"සර් එතකොට අර ළමයට ඒ වගේ දෙයක් කිව්වෙ එයාව පරද්දන්නද?"

"ඒ ළමයා සැබෑ ම දක්ෂයෙක්.කාගෙවත් ආලෝකයක් නැතුව තමන්ගෙ ආලෝකයෙන් ඉදිරියට එන්න පුළුවන් තරුවක්!"

"ඒක ඒ ළමයාවත් තේරුම් ගනී ද සර්?"

*****************

ඒ කතාබහ සිදු වී වසර පහකටත් ආසන්නය.ඒ තරඟයෙන් තාළුජ පණ්ඩිතරත්න පැරදුනේය.නමුත් ඔහු ඉන්පසු ගාන්ධර්ව උපකල්පනය කළ ලෙස ම තනි ව නැගිට්ටේය.ඔහු හා තරඟ වැදී ජය ලද්දෝ කාලයක් ඉතා තද එළියකින් කලා අහස එකළු කර බැස ගොස් ද හමාරය.

තාළුජ දැන් චිත්‍රපට පසුබිම් ගායනා වලට පවා ඉල්ලුමක් ඇති ගායකයෙකි.

"සර්!!!!!!මෙන්න බලන්නකො නිව්ස් එක ........ඉන්ට්නැශනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකක හොඳම පසුබිම් ගායනය අපෙන් ගිය ෆිල්ම් එකටලු.තාළුජ තමා සින්ගර්!!!!!" අන්තර්ජාලයෙන් නිව්ස් බලමින් සිටි ජනිත්ට කෑ ගැසුනේය.

ගාන්ධර්ව කට කොනකින් සිනාසුණේය.

"තමන්ට ම ආලෝකයක් තියෙන සැබෑ තරුවක්!"

 

--------------Shanika Tennakoon-----------------

 

Comments

Post a Comment