නොලැබුන හින්දා

 


"රෝශිනී කෝල් කළා හෙට දවල් බබා බලන්න එනවලු" ජයනි සැමියා අජිත්ට කීවාය.

"අම්මෝ එහෙනම් හෙට කඩෙන් තමා කන්න වෙන්නෙ"ඔහු මහ හඬින් හිනැහුනේය.

"ගෙදර හදන්න දේවල් තියෙනවා ද. මොනවද ගේන්න ඕන?"ඔහු නැවත ඇසුවේය.

"ම් ම් චොක්ලට් කේක් එකක් ගේන්න හොඳ තැනකින්.රෝශි හරි ආසයි මං හදන චොක්ලට් කේක් වලට.මෙයා එක්ක කොහෙද ඒ වැඩ දැන්"ඇය ආදරයෙන් බිළිඳා සිප ගත්තාය.

රැකියා ස්ථානයේ ජයනිගේ හොඳම මිතුරිය රෝශිනීය.දරුවා ලැබීමෙන් පසු නිවාඩු ලබා ඇය සිටියේ නිවසේය.රෝශිනී පහුවදා ආවේ අත් පිරෙන්න කෑම උයාගෙනය.

"අයියෝ පිස්සු ද කෙල්ලෙ?"

"බබත් එක්ක ගෙදර වැඩ කර ගන්නත් බැරුව ඉන්නකොට මාත් තව වද දෙන්න හොඳ නෑනේ......රස නම් නැතුව ඇති බෝඩිමේ වැඩි වැඩ බෑ"

"අනේ මේ ඕනවටත් වැඩී නගෝ...... ඉතින් ඉතින් කොහොමද ඔෆිස් එක පැත්තෙ විස්තර?"

"විශේෂයක් නෑ අක්කෙ........රුවන්ගෙ එන්ගේජ්මන්ට් එක තිබුණා ගිය සතියෙ"

ජයනිට රුවන් කවුදැයි එක්වර මතක් වූයේ නැත.

"එච් ආර් එකේ වැඩ කරන්නෙ.අපේ අවුරුදු උත්සවේ එනවුන්සින් කළෙත් එයා."

                    කාර්‍යාලයේ විස්තර ඇසූ විට මුලින්ම තමන්ගේ අංශයේවත් නොවන කෙනෙක්ගේත් පුද්ගලික දෙයක් කීවේ ඇයිදැයි අසන ලීලාවෙන් ජයනි විමසිල්ලෙන් රෝශිනී දෙස බැලුවාය. දරුවා දෙසට මුහුණම හරවාගෙන සිටින නිසා  ඇය ජයනි ව නොදුටුවත් ජයනි  ඈ නොකී දේ හිතා ගත්තාය. අවුරුදු උත්සවයේ නිවේදකයා කීප වතාවක් රෝශිනී සමග කතා කරන, ගමන් බිමන් යන හැටි කියා සමහරු කේක් ඉල්ලූ හැටි ඇයට මතක් විය.

"අක්කා ලීව් ගිය අලුත ඉන්ටර්න් ආව ගෑණු ළමයෙක් චන්දිමා කියල.ප්‍රපෝසල් එකක්ලු.ඒ ළමයා ඩිග්‍රි එකට ඉගෙනගන්න රට යන්නලු ඉන්නෙ.අපි ඉතිං මේවාටම සින්න වෙලා කිසි දියුණුවක් නෑ නෙ"

"කොහොමද නංගි දැන් දයා අක්කා එහෙම.තාම පරක්කු වෙලාද වැඩට එන්නෙ?"

ඒ කතාව තවත් දුර ඇදගෙන යායුතු නැතැයි හැඟුන නිසා ජයනි ඇසුවාය.

"අපෝ ඔව් ඔව්.ඔෆිස් එකේ බිත්තියට අල්ලලා ගෙයක් හැදුවත් එයා එන්නෙ අන්තිම මොහොතේ තමා.......ලොකු සර් දුව බලන්න රට ගියා.දැන් වැඩ බලන මැඩම්ගෙනුත් ඒ කාලෙ වගේ ම දයා අක්කා බැණුම් අහනවා.එයාටත් දැන් ඒක ගානක් නෑ" රෝශිනීගේ මුහුණේ සිනා ඉරියව් මැවුණේය.

"පව් කෙල්ල හරියට මහන්සි වෙලා......."

ජයනි කීවේ අජිත්ට රෑ කෑම මේසයේදී රෝශිනී උයාගෙන ආ කෑම බෙදන අතරය.

"රෝශිනීගෙ අත්ගුනේ නම් තියෙනවා වගේ"

"අනේ ඔව් මට පුතා හම්බ වෙන්න ඉන්න කාලේ කෑම ජාති හද හදා ගෙනත් දුන්නෙ."

"රෝශිනීට කොල්ලෙක් ඉන්නවද?"

ජයනි මොහොතක් කල්පනා කළාය.

"නෑ මං හිතන්නෙ"

"එයාට වයස කීයක් ඇතිද?"

"ම් ම් අපේ මල්ලිට වඩා අවුරුද්දක් වැඩිමල් නෙ.අපරාදෙ නෑනා කර ගත්තා නම් හැමදාම රස රස කෑම ජාති කන්න තිබුණා නේද?"

ජයනි විහිළුවට ගත්තත් අජිත් සිටියේ බැරෑරුම් ලෙසය."අපේ ජී එම්ගෙ එකම පුතා කෙල්ලෙක්ට අවුරුදු ගානක් මැරීගෙන ලව් කරල. ඒකි මේ කොල්ලගෙන් හොඳට දත ගලෝගෙන ඩබල් ගේම් ගහල අතටම අහු වෙලා. කොල්ලාට ජීවිතේම එපා වෙලාලු.දෙමාපියෝ බයේ ඉන්නෙ ජීවිතේට මොනව හරි කර ගනී කියල...........

"අපොයි  අම්මේ ඇත්තට?"

"ජී එම් පුතාට මනමාලියක් හොයනවා කිසි දෙයක් ඕන නෑ හොඳ ගතිගුණ තියෙනවා නම් ඇතිලු."

කතා බහ කීපයකට පසු රෝශිනී හා අමන්ත මුණ ගැසුණේ පවුල් දෙක තුනේ ම වැඩිහිටියන්ගේ අනුදැනුමෙනි.

"වරදක් නම් නෑ වගේ අක්කෙ.ඒත් ඉතිං මිනිස්සු කාලා බලන්නයැ.අපි දෙන්නා ටික කාලයක් කතා බහ කරල තීරණයක් ගන්න හිතුවෙ....."

දෙදෙනාගේම හිත් වල ළඟදී සිදු වුණ තුවාල ඇති නිසා එය හොඳ යැයි ජයනිත් සිතුවාය.රෝශිනීගේ ඇස් වල ඇති අමුතු ම කාන්තිය ඒ තීරණය දෙදෙනාටම යහපතක් වන ලකුණු පෙන්නුවේය.

----------------Shanika Tennakoon-------------------

 

ජයනිගේ පුතාගේ පළමු උපන්දිනය යෙදුනේ මේ අතරය.ලොකු පාටි දැමීමට මව් පිය දෙදෙනාගේම කැමැත්තක් නොවුණත් ෆොටෝ ශූට් එකක් කරන්න ජයනිගේ තිබූ ආශාවට අජිත් අකමැති නොවීය.ඒ අනුව දෙදෙනා අජිත්ගේ යහළුවෙකුගේ හිතවත් ඡායාරූප ශිල්පියෙකු වූ සහන් වෙත ගියහ.

"අයියලට ඕන විදියටම වැඩේ කරල දෙන්නම්.ඒ දවසත් ඕකේ.......හැබැයි  සතියකට කලින් ෆුල් පේමන්ට් එක නම් කරන්න ඕන"

ජයනි ගැස්සී සැමියා දෙස බැලුවාය. ඇයට අවිශ්වාසදායී බවක් හැඟුනේය.

"ආ.....හරි කොහොමත් අපි ඔයාට ඒ ගාස්තුව ගෙවන්න ඕනනෙ"අජිත් ද තරමක් අපහසුතාවයට පත් වුවත් වහා කීවේය.

"අයියලා වැරදියට හිතන්න එපා.අපි ලීගල් ඇග්‍රිමන්ට් එකක් හදනවා කොහොමත්.ළඟදි හොඳ මට්ටුවක් වුණා ඒකයි"සහන් නැවත කීවේය.

"ඔය ඔතන පිටිපස්සෙ තියෙන ෆොටෝ එක........මගෙ හොඳම යාළුවෙක්ගෙ නංගිගෙ එන්ගේජ්මන්ට් එකේ එකක්. යාළුකම නිසා වැඩේ කන්ෆර්ම් කරන්න පොඩි ගානක් විතරයි ගත්තෙ.කෙල්ල එන්ගේජ් වෙලා ස්ටඩීස් වලට රට ගියා අවුරුද්දකින් ඇවිත් වෙඩින් එක අරන් කොල්ලා එක්ක ම යනවා කියල. යාළුවා නිසා මමත් උපරිමෙන් හදලා දුන්නා. මෙන්න හදල බලද්දි ඇල්බම් එකයි වීඩියෝ එකයි එපාලු."

"ඒ මොකද ඒ?"ජයනිට කුතුහලය නිසා ඉබේ ම ඇසුණේය.

"බැඳපු එකා  ළමයි ඉන්න ඌටත් වැඩිමල්  ගෑණියෙක් එක්ක සෙට් වෙලාලු.ගෙවල් වල මල් වගේ හදන කෙල්ලො සීනි බෝල කතා වලට දැපනෙ වැටෙනවානෙ.දැන් ඩිවෝස් නඩුව යනවා.මං ආගිව් කරල කෙල්ලගෙ ෆොටෝ ටික විතරක් දීල ඒකෙ සල්ලි ගත්තා.ඒත් සෑහෙන්න පාඩුයි."

සහන් එක දිගට කියාගෙන යද්දී ජයනි ඇසි පිය නොහෙළා ගෑණු රූපය  ඉවත් කරන ලද විශාල රාමු කළ පින්තූරයේ සිටි රුවන් කංකානම්ගේ දෙස බලා සිටියාය.

සමහර දේවල් අපිට නැතිවෙන්නෙ අපේ ම හොඳටයි.අම්මෝ රෝශිනී.........ඇය තනියෙන් කියා ගත්තාය.

 

----------------Shanika Tennakoon-------------------

 

 

 

Comments

Post a Comment