මේ පාරෙන් යන්න

 


"අනේ නංගි,අපේ කෙල්ල කැම්පස් යන්න බෑ කියනවනේ" සරෝජා  ගුරුවරියක වූ නංගී නිලිනිට දුරකථනය ඔස්සේ දුක කීවාය.

"කැම්පස් යන්න බෑ කියනවා.......ඒ මොකද ?"

"ඕවට ගියාට ජොබ් නෑ ලු. කාලෙ නාස්ති වෙනවා විතරයි ලු"

"කෙල්ලට කොල්ලෙක්වත් ආයෙ බැල්ම දාගෙනද හොයල බැලුවාද?"

"ගිය අවුරුද්දේ එහෙම හුටපටයක් පටන් ගන්න ගිහින් මං නංගිගෙන් ම දැනමුතුකමක් අරන්නෙ ඒක නතර කර ගත්තෙ.ආයෙ නම් එහෙම දෙයක් නෑ"

"කවුද මේ දවස් වල ගෙදරට ආවෙ ගියෙ එහෙම?"

"විශේෂ කවුරුත් නෑ.එහා ගෙදර නංගි වැඩට යද්දි  පොඩි එකී මෙහෙන් තියල යනවා එච්චරයි."

සති දෙකකට කලින් වෙනකලුත් තමන්ට ඉල්ලුම් කළ හැකි විශ්ව විද්‍යාල,පාඨමාලා ගැන හොය හොයා තෝරමින් තොර තෝංචියක් නැතිව කියවමින් සිටි කෙල්ලගේ හිත වෙනස් කළේ කවුදැයි නිලිනි කල්පනා කළාය.

"හ්ම්.....හදිසි නොවී ඉමුකො. කෙල්ලට බනින්න වාද කරන්න යන්න එපා.මට මේක කිව්ව බවක් කියන්නත් එපා........ මං එන්නම්කෝ දවස් දෙක තුනකින් ඔය පැත්තෙ"

නිලිනි කිව්වා සේ ම සසිනිකා බලන්න ගියේ දින දෙකකට පසු සෙනසුරාදාය.

"අනේ අක්කෙ මං තකහනියක් ආවේ කෙල්ල හම්බ වෙන්නමයි........මේ පාර ඕ ලෙවල් කරන දුවෙක්ගෙ අම්මා මගෙන් ඇහුව දැන් කැම්පස් වල අලුත් කෝස් වගයක් පටන් අරන්ලු නේද.ඒවට යන්න මොනවද ඒ ලෙවල් කරන්න ඕනා කියල.උත්තරයක් දෙන්න කලින් මං හරියටම දැනං ඉන්න එපෑ.මං මේ කැම්පස් ඇප්ලිකේශන් දාන පොත ඉල්ලගන්නමයි ආවෙ."

සසිනිකා උදාසීන ලෙස බලා සිටියාය.

"මං ගාව නෑ පුංචි අම්මෙ"

" කවදට කලින් ද ඇප්ලිකේශන් දාන්න තියෙන්නෙ?"

"මං කැම්පස් දාන්නෙ නෑ"

"ඇයි ඒ?"

" අපේ ගමේ කී දෙනෙක් කැම්පස් ගියාද. කී දෙනාටද ජොබ් හම්බ වෙලා තියෙන්නෙ.සමහරුන්ට ඉගෙන ගත්ත කිසි දේකට සම්බන්ධ නැති ඒවලු කරන්න තියෙන්නෙත්" සසිනිකා කියාගෙන ගියාය.

"කැම්පස් ගියා ම ජොබ් එකක් දෙන්නත් ඕනද?"නිලිනි පුදුමයෙන් මෙන් ඇසුවාය.

"ඇයි එහෙම නෙවේද?"නිලිනිටත් වඩා පුදුම වූ සසිනිකා ඇසුවාය.

"කැම්පස් ඩිග්‍රි සහතිකෙන් දෙන්නේ අධ්‍යාපන සුදුසුකමක්.ඒකයි ඒ කාලය ඇතුළත ලබා ගන්න අත්දැකීම්,ආකල්ප, කුසලතා වලින් තම තමන්ගෙ ඉදිරි ජීවිතය හදා ගන්න එක තමන්ගෙ වගකීමක්."

සසිනිකා කල්පනා කරන්නට වූවාය. ඇය පුරුදු කරගෙන සිටි  වාග් මාලාව  පුංචි අම්මා බිඳ දමා ඇත.

"මොනවද කැම්පස් නොයා කරන්න ඉන්නෙ?"නිලිනි නැවත ඇසුවාය.

"මං ජොබ් එකකට යනවා.....කැම්පස් ගිය අය අවුරුදු හතරකින්  එළියට ඇවිත් ජොබ් හොයද්දි මට අවුරුදු හතරක එක්ස්පීරියන්ස් එක්ක හොඳ ගාණකුත් එකතු වෙලා තියෙයි." සසිනිකා නැවත ආඩම්බරයෙන් කීවාය.

"ඔව් ඒක නම් හොඳයි.හැබැයි ඩිග්‍රි එක අරන් යාළුවෝ එද්දි උජාරුවට පෙන්නන්න පුළුවන් විදියෙ ජොබ් එකක් වෙන්න ඕන.ඩිග්‍රි අයටත් ජොබ් නැති කාලේ......."

 තමන්ගේම වචන වලින් හීන් සීරුවේ දමා ගහද්දී සසිනිකා ඇස් කොනෙන්  බැලුවාය.

"මට මගේ දෙයක් පටන් අරන් දියුණු වෙන්නත් පුළුවන් නෙ.අර මාලතී නැන්ද ඉස්කෝලෙ හොඳම ප්‍රතිඵල අරන් කැම්පස් තේරිලත් යන්නෙ නැතුව දැන් හොඳට බිස්නස් කරන්නෙ" සසිනිකා උදාහරණයක් සමග ම කියා දැම්මාය.

"කවුද මාලතී?"නිලිනි එවර බැලුවේ කතාබහ ඇහෙන මානයේ සිටි අක්කාගේ මුහුණය.

----------Shanika Tennakoon------------

"ටවුන් එකේ මලිති ෆැශන් කඩේ කරන්නෙ"

"ආ.......මාලතී මංගලිකා නේද?"

"ඔව්. බලන්නකො කීයක් හොයනවද මාසෙකට"

"මාලතී හිටියෙ මට වඩා පන්ති දෙකක් ඉහළින්.......ඇය සසිනිකාගේ ප්‍රශ්නය නෑසුණ සේ කීවාය........එයා යාළු වෙලා හිටියෙ මගෙ පන්තියෙ ළමයෙක්ගෙ අයියා එක්ක.ඒකා ඉස්කෝලෙන් කට්ටි පැනලා රස්තියාදු ගගහ ඉඳිද්දි ගෙදරින්  මිඩ්ලීස්ට් යැව්වා ජොබ් එකකට."

"මාලතී නැන්ද බැඳල ඉන්නෙ එහෙම කෙනෙක්........." සසිනිකා මැදින් පැන්නාය.

"හරි හරි ළමයො,මං කිව්වෙ යාළු වෙලා හිටි කෙනා.එයාව බැන්ද කිව්වෙ නෑනේ ........කැම්පස් තේරුණාට මාලතී කියන්න ගත්තෙ ඕවයෙ යන්න හොඳ නෑ අරව වෙනව මේව වෙනව අයියා මාව ජොබ් එකකට යවන්නෙ නෑ ඉතිං මොකටද තව මහන්සි වෙවී ඉගෙන ගන්නේ.......ඒ නිසා ගෙදර ඉඳන් මැහුම් ගෙතුම් පන්ති ගියා.රෑ නිදි මරන් ඇඳුම් මහල දවල් දවසෙ පාරවල් දිගේ ඒවත් අරන් කඩවල් හොය හොයා ගියා. කැම්පස් ගිය ළමයෙක්ට වඩා කාලයක් ඊට වඩා දුක් වින්දා මම නම් හිතන්නෙ ........ මාලතී කැම්පස් නොගිය කතාව කොහොමද ඔයා දන්නෙ?"නිලිනි ඇසුවාය.

"අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ ශාක්‍යාගෙ පුංචි අම්මා එයා"

"ශාක්‍යා කිව්වෙ ඉන්දුමතීගෙ දුව නේද?"

"ඔව් එයා තමා.පුංචි අම්මා දන්නවද එයාව?"

නිලිනිට හිනා ගියේය.ඇය මෙතෙක් වේලා හෙව්වේ සසිනිකාගේ හිත වෙනස් කළේ කවුද යන්නයි.

 "ශාක්‍යායි නංගියි දෙන්නම මගෙ ටියුශන් එකට ආවා.ඒ දෙමාපියෝ සෑහෙන බලාපොරොත්තු තියන් හිටියෙ ලොකු දුව ව කොහේ හරි කැම්පස් එකකට යවා ගන්න.තුන් වෙනි පාරටත් ප්‍රතිඵල මදි.දැන් පොඩි දුවට ගෙදරට ම ගෙනත් ටියුෂන් දෙන්නෙ එයාව හරි කැම්පස් යවන්න"

සසිනිකා දෑස් ලොකු කරගෙන පුංචි අම්මා දෙස බලා සිටියාය.

"කෙල්ලෙ මතකයි නේද නැට්ට කපා ගත්ත නරියගෙ කතාව.ආං ඒ වගේ නරිච්චියෙක්ට අහු වෙලා පිස්සු නටන්න එපා.ජීවිතේ දියුණු වෙන්න එක එක විදියෙ පාරවල් ගොඩක් තියෙනවා. දැන් මේ අතට ලැබුණ පාරෙ පලයං තාම පේන්නෙවත් නැති පාරවල් ගැන හීන නොබලා"

Shanika Tennakoon

Comments

Post a Comment