නරක දේ


"කාටද අක්කෙ මේ ක්‍රොප් ටොප් එක" විදෙස්ගත ව රැකියාවක් කරන රෝශිනී නිවාඩුවට විත් එක එක් කෙනාට තෑගි බෙදද්දී මතු වුණ ඇඳුමක් අතට ගෙන ලොකු නංගි අරෝශා ඇසුවාය.

"චූටිට.එයා ඔහොම අඳින්න ආසයිනේ"

"චූටි කිව්වෙ  පුංචිගෙ දුව නීලියාද?ඒ ළමයා දැන් ඕවා අඳින්නෙ නෑ" පොඩි නංගී නිශාලී කීවාය.

"ඇයි ඒ තරමට මහත් වෙලාද?"

"මහත් නෙවේ එයා දැන් යහපත් වෙලා. .....චූටි දැන් අඳින්නෙ අත් දිග...ට, බෙල්ල ගා.....වට,බිම ගෑවෙන්න බාච්චු"

"අර මොකෝ හමේ ලෙඩක් හැදිලද?"

"නෑ නෑ හිතේ ලෙඩක්"

"මොනවද මේ කියවන පද පෙරළි?"රෝශිනී නළල රැළි කර සොයුරියන් දෙස බැලුවාය.

නිශාලී බෙල්ල දිගු කර කාමරයෙන් එලියට එබී අහළ පහළ අම්මා නැති බව තහවුරු කර ගත්තාය.

"පුංචිලා චූටිට මනමාලයෙක් හොයල දීල.ඒකා කියනවලු කොටට, හිරට ඇන්දම මිනිස්සු ජරා කතා කියනවලු. හිතනවලු.එක එක අඩන්තේට්ටම් කරන්න එනවලු."

"සමයං එහෙනම් පිටරට කෙල්ලන්ට සමර් එකේ ගෙවල් ඇතුලෙ හැංගිලා ඉන්න වෙන්නෙ.අනික මිනිහෙක්ගෙ හිත නරක නම් ඌට කොටට ඇන්දත් එකයි,ගෝනියක් පෙරවගෙන හිටියත් එකයි."

"මෑන් චූටිට ෆේස්බුක් ඉන්ස්ටා එහෙමත් එපා කියලලු"

"ඈ........ ඒ නම් පිස්සෙක්.ඕවා පුංචිලා දන්නවද?"

"ඒකනේ අක්කෙ හොඳම වැඩේ. පුංචිලාට හරි සන්තෝසයි එහෙම නීති දැම්මට."

"මොකක්??"

"අවුරුදු ගාණක් අපි කිව්වට ඇහුවෙ නෑලු.දැන් අගේට රමේශ් පුතා කියන දේ අහල හැදිල ඉන්නවලු.ෆේස්බුක් ගෑණු ළමයෙක්ට හරී නරක දෙයක් ලු"

"ඔයා ඕව දන්න බව අඟවන්න එපා එහෙ ගියාම.අම්මා අපි දෙන්නට දෙසයි කේලම් කිව්වා කියල"

පුංචි අම්මලාගේ නිවසේදී නංගිලා කිව් දේවල් ඒ ලෙසින් ම රෝශිනී දුටුවාය. වෙනදා දකින චූටි කොහේ හෝ අතුරුදහන් ව ඇත.කෙතරම් කට පියාගෙන ඉන්න හිතුවත්"මෙච්චර රස්නෙ දවසක ඔයාට හීතලද චූටි?"කියවුණේය.

"පුරුදු වෙලා ගානක් නෑ.අක්කා ඉන්න රටේ නම් හිමත් වැටෙනවා නේද?"ඇය කතාව වෙනතකට හැරෙව්වාය.

"ඔව් මං වින්ටර් එකේ ෆොටෝ ගොඩක් ෆේස්බුක් දැම්මා.දැක්කෙ නැද්ද?"

"අනේ මං ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නෑ අක්කෙ දැන්.රමේශ් කැමති නෑනේ"

"එතකොට එයත් එෆ් බී නැද්ද?"

"එයා ජොබ් එකට අමතර ව බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් වගයක් කරන නිසා ෆේස්බුක් පාවිච්චි කරනවා. හැබැයි කවුරු එක්කවත් චැට් කරන්නෙ වෙන පෝස්ට් ශෙයා කරන්නෙ හෙම නෑ"

"මොකක් කියල ද නම තියෙන්නෙ"රෝශිනී තමන්ගේ ෆෝන් එක අතට ගෙන ඇසුවාය.

"රමේශ් රොක්ස්.පිටරට අයට වුණත් ලේසියෙන් කියා ගන්න පුළුවන් නමක් දාලා තියෙන්නෙ"

රෝශිනීට හිනා යන්න ආවත් ඇය තොල් තද කරගෙන ඔහුගේ නම හෙව්වාය.

"හ්ම්......මේක නේද?"

ඔහුගේ වෝල් එක ඇය කිවු පරිදිම ව්‍යාපාරික කටයුතු පමණක් වගේය.කිසි පුද්ගලික තොරතුරක් නැත.ඉඳ හිට ශෙයා වී ඇති පෝස්ට් පවා ඉතා අහිංසක ගණයේය.

*************************

රෝශිනීට නැවත නීලියා මුණ ගැහුනේ රට යන්න සතියකට පෙරදීය.

"දුව ඔන්න චූටිගෙ වෙඩින් එකට නම් එන්නම ඕන"පුංචි අම්මා කීවාය.

"එන්නම් එන්නම්.පුංචි. චූටි මං ෆොටෝ ෆේස්බුක් දැම්මාම රමේශ්ගේ ෆේස්බුක් එකේ බලන්න."

"එයත් දැන් ෆේස්බුක් නෑ අක්කේ. අනුන්ගේ ඉඩම් බිස්නස් එකකට උදව් කරන්න ගිහින් එයාව බ්ලොක් වෙලා. එකවුන්ට් එකත් ඩිලීට් කරල ඉන්නෙ දැන්."

"බ්ලොක් වුණේ ඉඩම් බිස්නස් එකක් හින්දාද ගෑණු ළමයින්ගෙන් ජරා කතා අහන්න ගිහින් ද?"

රෝශිනී මූණට ගහන්නාක් මෙන් ඇසුවාය.පුංචිත් නීලියාත් ඇස් ලොකු කර ගත්හ.

"මොකක්ද?"

"මෙන්න මේවත් කියවල ම රමේශ් රොක්ස්ව කසාද බැඳ ගන්න."ඇය තමන්ගේ ෆෝන් එක නීලියාට පෑවාය.

"මො.....මො....මොනවද මේ.........කවුද මේ සිහින කුමාරියි,ස්වීට් පින්කියි"නීලියා එක දිගට අසාගෙන ගියාය.පුංචි අම්මාත් කුතුහලයෙන් ඇගේ උරහිසට උඩින් එබුණාය.

"ගෑණු නම් දෙක බලන්න කලින් ඔය ඉන්නෙ පුංචි අම්මාගෙ අපූරු බෑණා පොඩ්ඩ නේද බලන්න.......කොහොමද මිනිහා කියල අහල තියෙන දේවල්"

"ඔයාට කොහෙන්ද මේවා?.....ශික් පුදුම තරම් ජරා දේවල් නේ"

" මෙහෙ වෙලාවෙන් මහ රෑ ඔන්ලයින් ඉන්නකොට අපිටත් ඔය වගේ අමුතු නම් තියෙන මහා සුචරිතවාදී ඔෆීශියල් වගේ පේන ප්‍රොෆයිල් වලින් හායි හූයි ගාගෙන එන නිසා ඒ රටේ මාත් එක්ක වැඩ කරන  ගෑණු ළමයෙක්ට මං ඔය නම යැව්වා.එයායි යාළුවෙකුයි ෆේක් ප්‍රොෆයිල් දෙකකින් චැට් කරල තියෙන්න. පේනවනෙ මිනිහා කියල, අහල, ඉල්ලල තියෙන දේවල්.ගණං හදල බලන්න ලංකාවෙ වෙලාවෙන් කීයටද මෑන් ඔය මිස් වෙච්ච වීඩියෝ කෝල් අරන් තියෙන්නෙ කියලත්"

"අනේ දෙයියනේ.....රමේශ් පුතා එක්ක තරහට වෙන කවුරු හරි......."පුංචි අම්මාට තවමත් ඔහුව විශ්වාසය.

"අම්මලට තාමත් හොඳ ඒ මිනිහද. ඔයාලට අවුරුදු විසි ගාණක් දැනගෙන හිටිය මට වඩා මාස ගානකට කලින් දැන ගත්ත මිනිහෙක් කියන දේවල් ලොකු වුණා. රටේ ලෝකෙ නෙවේ ජරා මිනිහා ඉඳල තියෙන්නෙ මං ගාවමයි. "

නීලියා අඬමින් ගෙට දිව්වාය.

"නරක මිනිස්සු ඕන සමාජයක ඉන්නව. ඒවයින් ගැලවෙන්න අපි හැංගිලා මුළු ගැන්විලා හරි යන්නෙ නෑ.ඒ සමාජය එක්ක ආරක්ෂිත ව ගැටිලා නරක දේවල් අඳුන ගන්න ඒවා එක්ක හරි විදියට ගණුදෙනු කරන්න පුරුදු වෙන්න ඕන"

රෝශිනී කියද්දී මෙතෙක් කල් බෑණාගේ පුරාජේරුව කියවූ පුංචි අම්මාට උත්තර තිබුනේ නැත.

 

Shanika Tennakoon

 

Comments