මගුල් ගෙදර

 


ඉස්කෝලෙන් ගෙදර ආ වෙලාවේ සිට අක්කා කාමරයට වැදී මක් කරනවාදැයි හසිනි දොර රෙද්ද අස්සෙන් එබී බැලුවාය.

ඇය මුළු අල්මාරියේ ම සාරි ඇඳ උඩ හලාගෙන ලොකු කල්පනාවකය.

"මොකද හලෝ සාරි වෙන්දේසියක්ද?" ලොකු කල්පනාවකින් සිටි අචිනි තිගැස්සී  බැලුවාය.

"ප්‍රින්සිපල් සර්ගේ පුතාගෙ වෙඩින් එකට ස්ටාෆ් එකටම ඉන්වයිට් කළා"

"කවදද හෙට ද?"

"නෑ නෑ ලබන මාසෙ........මට අඳින්න හොඳ එකක් නෑනේ"

 හසිනි නිහඬව ඇඳ දෙස බැලුවාය.

"ගිය අවුරුද්දේ සුදු අක්කගෙ වෙඩින් එකට ඇන්ද කහ පාට එක ලස්සනයිනෙ"

"සුදු අක්කාගෙ කලර් තීම් එකට  ගන්න ම එකක් නැතුව ඕක ගත්තා මිසක් ඒ වෙද්දිත් ඒ පැටන් එක ඇවිත් ටිකක් කල්. දැන් කොහොමත් ඒක අවුට් ඔෆ් ෆැශන්"

"ජනවාරි මාසෙ සඳූගෙ එන්ගේජ්මන්ට්  එකට ඇන්ද එක?"

"ඒක මදි මේ වගේ එකකට.ග්‍රෑන්ඩ් හොටෙල් එකක ගන්නෙ........මේ සාරි ටික අවුට් ඔෆ් ෆැශන්,මේ ටික එහෙම ෆන්ශන් එකකට මදි,මේවා ඇඳන් ගත්ත ෆොටෝ මං ෆේස්බුක් දැම්මා.ආයෙ ඇන්දොත් හැමෝටම මතකයි........"

අචිනි ගොඩවල් වලට වෙන් කළ සාරි කඳු තුනක් පෙන්වමින් නහයෙන් ඇඬුවාය.

"සාරියක් ගන්න එහෙනම්.ඕක දිහා බලන් ඉඳල වැඩක් ඇතෑ"ඇය අයින් කළ සාරි ගොන්නේ තරම දැක හුස්මක් ඉහළට ඇද ගත්තත් මේ හරඹය බලන්න ඇවිත් සිටි අම්මා කීවාය.

"ලොකු ගානක් යට කරන්න වෙයි අම්මෙ.බස් එකක්  හයර් කරන් යන්න ඉන්නෙ.තෑග්ගටත් ලොකු කලෙක්ශන් එකක් යනවා.සර්ගෙ එකම පුතානෙ."

"මොකද කරන්නෙ එහෙනම්?"

"අඳුරන කාගෙන් හරි ඉල්ලගන්න බලන්න ඕන........ගමේ ලොකු අම්මලගෙ අක්කා ගිය මාසෙ අයියගෙ පැත්තෙ වෙඩින් එකට ලස්සන සාරියක් ඇඳල හිටියෙ.එයා ෆේස්බුක් නැති නිසා මාව දන්න කියන වැඩි දෙනෙක් ඒක දකින්න නෑ.අහල බලන්න ඕන"

"එයා මහතයිනෙ ගොඩක්.කොහොමද ඒකෙ හැට්ටෙ ඔයා අඳින්නෙ?" හසිනි ඇසුවාය.

"දැන් ඒ සාරියෙ ම හැට්ටෙ අඳින්නෙ නැති එක තමා ස්ටයිල් එක"

ඒ සති අන්තයේ ම කද මලු බැඳගෙන අචිනි අම්මා සමග ගමේ ගියාය.

නමුත් එදා අක්කා ඇඳ තිබුණේත් නෑයෙක්ගේ සාරියකි.එය නැවත ඉල්ලා දෙන්න අක්කා ලෑස්ති වුවත් අචිනි කැමති වූයේ නැත.ඇය ගාව ඇති සාරි එකතුවත් බලා ගැලපෙන එකක් තෝර ගන්නා අදහසින් ගියත් ඉඳහිට ගමේ උත්සවයකට යන ඈ ගාව තිබුණු සාරි අචිනිට පෙනුනේ අවුරුදු දහ පහළොවකට කලින් ගත් ඒවා ලෙසය. දන්නා කියන හැමටම උත්සව වලට දීමෙන් ඒවා පොඩි වී නූල් ගැලවී පබළු ඇට බුරුල් වී තිබුණේ ආයේ ගොඩ ගත නොහැකි ලෙසය.

අචිනි බුම්මාගෙන ගෙදර ආවාය.නමුත් උත්සාහය අත් හැරියේ නැත.තව තවත් නෑයන් යාළුවන් පීර පීරා සාරි හෙව්වාය. තෑගි බෝග ගෙන ඔවුන් හමු වීමට ගියාය.

අවසානයේ උත්සාහය සාර්ථක විය. අචිනි හා විද්‍යාපීඨයේ ඉගෙනගත් දැන් දුර ඈතක ඉන්නා යෙහෙළියකගේ සාරියක් ඇය ගෙන ආවේ සම්මානයක් දිනූ තරම් සතුටිනි.

"අම්මෝ යසුන්තා සාරි පරිස්සම් කරන්නෙ රත්තරං වගේ.මේකෙ ලස්සන හින්දා මට දාලා එන්න හිතුනෙ නෑ. නැත්නම් සාරියට සලකන්න ඕන හැටි ගැන දුන්න දේශනේ අහල මට අනේ  එපා කියන්නත් හිතුණා.එයත් ෆයිව් ස්ටා හොටෙල් එකක වෙඩින් එකකටම ගත්ත එකක්ලු  "

ඊළඟ ප්‍රශ්නය වූයේ එයට හැට්ටයක් සෙවීමය.යසුන්තා ද අචිනිගේ තරමේ වුවත් ඇය මසාගෙන ඇති හැට්ටයේ මෝස්තරයට අචිනි කැමති වූයේ නැත.

"අම්මෝ හැට්ට රෙදි වල ගණන්.සාරිය දිහා බලල කඩවල් වලින් ගණන් කියන්නෙ.සාරියකට වඩා ගාණක් යනවා ඒකට.ඒ ගානට  මහගත්තොත් මං විකිණෙයි."

අචිනි නොපසුබට වීර්‍යයෙන් ඊළඟ මෙහෙයුම දියත් කළාය.සමහර හැට්ට වල පාට නොගැලපේ.සමහර ඒවා වල මෝස්තරය හරි නැත.දෙක ම හරි යද්දී තරම හරි යන්නේ නැත.ඒත් නැත්නම් ඒ හැට්ටය කීප වතාවක් ඇඳ ඇති නිසා බොහෝ දෙනෙක්ගේ ඇස ගැටී ඇත. අවසානයේ සියල්ල ගැලපෙන සාරි හැට්ටයක් ලැබුනේය.

"මේක හයි නෙක් නිසා එල්ලෙන කරාබු දෙකක් එක්ක අතට ලොකු බැන්ගල් එකක් දැම්මා නම් තමා ගැලපෙන්නෙ"

සාරියත් හැට්ටයත් ඇඳ බලා අචිනි කණ්ණාඩියට කීවාය.

"ඇයි හලෝ ඔයා ගාව තියෙන්නෙ ජුවෙලරි සාප්පුවක් ම"

"ඒ ඔක්කොම තියල බැලුව.මැච් වෙන්නෙ නෑ."

ඒකවත් සල්ලි වලට ගන්නවා ළමයො. ඔය මදෑ රට පුරා හොය හොය ගිය ඒවා"

අම්මා නොරිස්සුමින් කීවාය.

අචිනි ද එයට එකඟ ව සාප්පු සවාරියක් යන්න හිතා ගත්තාය.ශෝට් ලීව් දමා ආභරණ සොයා ගිය ඇය හවස ආවේ හිස් අතිනි.මහන්සියෙන් හෙම්බත් වීමෙනි.

"අපෝ ඇති වුණා මට නම්.එකක් වත් නෑ හරි යන එකක්.එක්කො පාට වෙනස්.නැත්නම් මගෙ මූණට හරි යන්නෙ නෑ.ඒත් නැත්නම් ගණන් වැඩී ........යාළුවෙක්  කිව්වා එයා දන්න තැනක් තියෙනවාලු ජුවෙලරි රෙන්ට් එකට දෙන.එයාලත් එහෙන්ලු ගන්නෙ. නිකං බොරුවට සල්ලි වලට ගන්න ඕන නෑ පැය ගාණකට.මැච් කරල ම ගන්නත් පුළුවන්.හෙට හවස මං එයා එක්ක එහෙ යන්න ඉන්නෙ"

පහුවදා හවස අචිනි ප්‍රීතියෙන් ගෙදර ආවාය.

----------- Shanika Tennakoon-------------

"හරියටම ගැලපෙන ජුවෙලරි සෙට් එකක් බුක් කරල ඩිපොසිට් එක දීලා ආවා.වෙඩින් එකට කලින් දවසෙ අරන් ආවම ඇති."

"ඉවරද දැන් වත් ඔය තොවිලෙ"

"අනේ මන්දා.......මේ සාරි එකට ගැලපෙන්නෙ සිල්වර් ශූස් දෙකකුයි ක්ලච් එකකුයි.......මගෙ සපත්තු දෙකේ ගෝල්ඩ් කලර් ඉරි දෙකක් තියෙනවා. ඕක දැම්මොත් එළ හරකයි මී හරකයි වගේ හෙන කැතයි.ක්ලච් එකත් පරණ පාටයි."

"ඇයි වදේ සාරිය ඇන්දම සපත්තු පේනවයැ.අනික කවුද ඕකෙ මනමාලි"

"අනේ කට වහන් ඉන්නවාකො.මනමාලි විතරද ලස්සනට ඉන්න ඕන.ස්ටාෆ් එකේ නාකි උන්දැල ටිකත් සැලුන් බුක් කරන්න කතාව.මට විතරක් ගොඩිච්චි වගේ ගියෑකිද?"අචිනි නංගිට පිප්පුවාය.

"දැන් කාගෙන්ද ඒක ඉල්ල ගන්නෙ?"

"බලමුකො බලමුකො"

හතර අතේ කල්පනා කර කෝල් කර යාලුවන්ගේ හිතවතුන්ගේ, ගෙවල් කීපයකට ගොස් අචිනි ගැලපෙන ම සපත්තු දෙකත් ක්ලච් එකත් තැන් දෙකකින් සොයා ගත්තාය.

"දැන් නම් කාටවත් සෙකන්ඩ් නොවී වෙඩින් එකට යන්න පුළුවන්" සතුටේ උපරිමයට ආ අචිනි සියල්ල හැඳ පැළඳ එහා මෙහා ඇවිද බැලුවාය.

"මේ හීල් එක නම් මට ටිකක් උස වැඩී . ඒවුනාට ඒක තමා මේ දවස් වල ට්‍රෙන්ඩ් එක.නදිනි නංගිගෙ කකුල මට වඩා පොඩි නිසා සපත්තුව ටිකක් හිරයි වගේ.පේන්නෙ නැති වෙන්න ප්ලාස්ටර් කෑල්ලක් අලව ගත්තම හරි. යන්නෙ එන්නෙ වාහනේ නිසා ගාණක් නැති වෙයි......ක්ලච් එක සුරංගා අළුතින් ම ගත්ත එක.මට හින්දාමයි දුන්නෙ. අම්මෝ ඔය ටික සල්ලි වලට ගන්න ගියා නම් මං විකිණිලා.හයි මේකප් එකයි මං තෝරපු හෙයාස්ටයිල් එකයි එක්ක නියම රිච් ලුක් එකක් එයි."

***************

වෙඩින් එක දවසේ උදේ සැලුන් එකට ගිය අචිනි හවස් වෙද්දී ගෙදර ආවේ බෙරි කර ගත් මුහුණින්  යෙහෙළියන් දෙදෙනෙක් දෙපැත්තෙන් අල්ලාගෙනය.

"මොකද මොකද උනේ?"අම්මාත් නංගීත් බය වී දුවගෙන ආහ.

"ලොකු දෙයක් නෙවේ නැන්දෙ.මෙයා කකුල පෙරලිලා වැටුනා.තනියෙන් ඇවිදගන්න අමාරු නිසා අපි එක්ක ආවෙ......මේ වීල් එකේම ගියොත් අපිට ලේසී.යන්නම් අචී...."

ඔවුන් දෙදෙනා ගෙටවත් ගොඩ නොවී පිටව ගියහ.

අම්මාගේත් නංගිගේත් වාරුවෙන් කාමරයට යා ගත් අචිනි ඇඳේ ඉඳගෙන සපත්තු ගලවා පැත්තකට විසි කළාය. සපත්තු ගලවද්දී ඇයට නොදැනුවත්ව ම කෑ ගැස්සුනේය.කෑගසාගෙන ම ඇය ඇඳේ හරහට වැටුණාය.

"ආ...සපත්තුවට කකුල කැපිල හොඳටම. තුවාල වලට ගාන බේත් එක ගේන්න පොඩි දුව"

"අර නාකි හේරත් කාරයාට බීල වැඩි වෙලා අපි ව ඇදල ගත්තා  ඩාන්ස් කරන්න.එයාගෙන් බේරෙන්න එහාට මෙහාට වෙද්දි සාරිය පෑගිලා සපත්තුව පෙරලිලා මාව පුටුවක් උඩට වැටුණා. කකුල උළුක් වුණා.මොකක හරි අතත් වැදුණා."

 "අනුන්ගෙ සාරි ඇඳන් ඇඳේ පෙරලිලා හරි යනවද. ඕක ගලවලා ඉන්න"

අම්මාත් නංගීත් බලෙන් මෙන් සාරිය, කරාබු කොණ්ඩ මෝස්තරය ගලවා අචිනි වේදනාවෙන් කෑ ගසද්දී ම කකුල් වලට සාත්තු කළහ.

මහන්සියත් වේදනාවත් නිසා අචිනිට එහෙම ම නින්ද ගියේය.

"හොඳ වැටිල්ලක් තමා මෙයා වැටිල තියෙන්නෙ"

 හසිනි අක්කා ගලවා තැබූ එකින් එක දේවල් ගෙන බලමින් අම්මාගේ මුහුණ බැලුවාය.

"වළල්ල තැලිලා.කරාබුවෙ ගලක් හැළිලා.පර්ස් එකේ දාරෙ පුපුරලා.ඒක අලුතෙන් ම ගත්ත එකක් කිව්වා නේද .......මග දිගට පරිස්සම් කරන හැටි කියා දිදී එව්ව සාරිය සපත්තුවට පෑගිලා යට වාටියට අල්ලපු රේන්දෙ තැන් තැන් වලින් ගැලවිලා. වැටෙද්දී සාරියට කටු ගහපු තැන් වලින් ඇදිලා ද කොහෙද තැන් දෙක තුනක ම හිල්"

"කකුලෙ තුවාල වලට දවස් දෙකක්වත් බේත් දාන්න වෙයි.කකුල ඇඹරිලා නිල් වෙලා ඉදිමිලා.ඒකටත් වෙදකම් කරන්න එපැයි. දවස් ගානකට අඩිය බිම තියන්න බැරි පාටයි."අම්මා අචිනිගේ කකුල දෙස බලාගෙන කීවාය.

"අලුතෙන් ගන්න එක පාඩුයි කිය කිය ලාබෙට රිච් ලුක් වෙන්න ගියා මදැයි.ඕව හොයන්න රට පුරා ඇවිද්ද ටිකයි, දැන් අලාබයි ගෙවලා යාළුවොත් තරහ කරගෙන, බේතුත් අරන්, නිවාඩුත් කපාගෙන කොහෙද අම්මෙ වාසියක්??"

------------------Shanika Tennakoon--------------------

 

Comments

  1. ලාභ උපරිම කරන්න ගියාම කෙලවෙනවම තමයි😪

    ReplyDelete

Post a Comment